
රජයේ පශු වෛද්‍යවරුන් නොවැම්බර් 17 වෘත්තීය ක්‍රියාමාර්ගයකට
රජයේ පශු වෛද්‍යවරුන් නොවැම්බර් 17 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
රාජ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ පවතින හිඟය, සේවා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් නොමැතිවීම සහ අයවැයෙන් සාධාරණ දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම තීරණය ගත් බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සභාපති උපුල් රංජිත් කුමාර මහතා පැවසුවේ රාජ්‍ය සේවය තුළ පශු වෛද්‍ය නිලධාරීන් 931 දෙනෙකු සිටිය යුතු වුවත් මේ වන විට සේවයේ නිරතව සිටින්නේ 600කට ආසන්න පිරිසක් පමණක් බවයි.
නිලධාරීන්ගේ සංඛ්‍යාව මෙලෙස අඩු මට්ටමක පැවතියද, 931 දෙනෙකු විසින් ඉටුකළ යුතු රාජකාරි ප්‍රමාණය දැනට සේවයේ සිටින පිරිසට පැවරී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එහෙත් එම අමතර වගකීම් වෙනුවෙන් රජයෙන් නිසි ඇගයීමක් හෝ දීමනාවක් ලබාදීමට පියවර ගෙන නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.
2027 අයවැය ඉදිරිපත් කිරීමට පෙර අමතර රාජකාරි දීමනාවක් ලබාදෙන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණද, අයවැය තුළින් ඒ සඳහා අපේක්ෂිත විසඳුමක් ලැබී නොමැති බවද ඔහු පැවසීය.
පශු වෛද්‍ය නිලධාරීන්ට අනෙකුත් රාජ්‍ය සේවකයන්ට හිමි මූලික කාර්යාල පහසුකම් පවා ප්‍රමාණවත් ලෙස නොලැබෙන බව සභාපතිවරයා පෙන්වා දෙයි. ඇතැම් ප්‍රදේශවල අබලන් කාර්යාලවල හෝ කුලී පදනම මත ලබාගත් ස්ථානවල රාජකාරි පවත්වාගෙන යාමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරි සඳහා අවශ්‍ය නිල වාහන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් නිලධාරීන්ට තම පෞද්ගලික වාහන භාවිත කිරීමට හෝ ත්‍රිරෝද රථ කුලියට ගෙන සේවා කටයුතු සඳහා යාමට සිදුවන බවද අනාවරණය විය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරාලීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවද උපුල් රංජිත් කුමාර මහතා පෙන්වා දුන්නේය.
මෙරට ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ගොවි ජනතාව හරහා සපුරාලන බවත්, එම ගොවි ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ අදාළ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ට බවත් ඔහු පැවසීය.
එවැනි වැදගත් සේවාවක් පවත්වාගෙන යන නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව රජයේ අවධානය ප්‍රමාණවත් ලෙස යොමු නොවීම කනගාටුවට කරුණක් බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ අමාත්‍ය ලාල්කාන්ත මහතාට අවස්ථා කිහිපයකදී කරුණු දැනුම් දී තිබුණද, මෙතෙක් ඒ සඳහා නිසි මැදිහත්වීමක් සිදුව නොමැති බවටද සංගමය චෝදනා කරයි.
මේ අතර, නව පශු වෛද්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ප්‍රමාණවත් නොවන තත්ත්වයක් පවතින බවත්, දැනට සේවයේ සිටින ඇතැම් නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට පෙර සේවයෙන් ඉවත්වන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නොවැම්බර් 17 වැනිදා පැවැත්වීමට නියමිත ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවද රජය සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත්, 2027 වසරේ සියලු සංවර්ධන වැඩසටහන්වලින් ඉවත් වීමට සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
ඒ අනුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්වලට අමතරව, රේඛීය අමාත්‍යාංශය, ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වලටද සහභාගී නොවීමට තීරණය කර ඇත.
තවද නොවැම්බර් මාසයේ සිට සියලු වාර්තා ඉහළ නිලධාරීන් වෙත යොමු කිරීම අත්හිටුවීමටත්, දේශපාලන මැදිහත්වීම් සහිත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඇතුළු රැස්වීම්වලට සහභාගී නොවීමටත් සංගමය තීරණය කර ඇති බව උපුල් රංජිත් කුමාර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.



