
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු අයවැයෙන් මඟහැරුණු බවට චෝදනාවක්
2027 අයවැය යෝජනාවලිය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු සඳහා කිසිදු සහනයක් ලබා නොදීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නැයි ඉල්ලීමක්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු විසඳීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙවර අයවැය තුළින් කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,400කට ආසන්න පිරිසක් දිවයින පුරා සේවයේ නිරතව සිටිති. රාජකාරි කටයුතු සිදුකිරීමේදී මෙම නිලධාරීන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවද සංගමය සඳහන් කරයි.
එම ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීමට මීට පෙර පියවර ගෙන තිබුණද, මෙවර අයවැය මගින් ඒවාට විසඳුම් ලැබී නොමැති බව ඔවුහු පවසති.
අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ග්‍රාම නිලධාරී වසමකට අදාළ කාර්යාල දීමනාව වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කර ඇති පසුබිමක, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යාල දීමනාව පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නොමැති බවද සංගමය චෝදනා කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ග්‍රාම නිලධාරී වසම් 10ත් 20ත් අතර විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමට සිදුවන අතර, ක්ෂේත්‍ර කාර්යාලයක් පවත්වාගෙන යාමේ වගකීමද ඔවුන්ට පැවරී තිබේ.
එමෙන්ම දිනකට කිලෝමීටර් 100ක පමණ දුරක් ගමන් කරමින් රාජකාරි සිදුකිරීමට සිදුවන මෙම නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනා සම්බන්ධයෙන්ද අයවැයෙන් කිසිදු සහනයක් යෝජනා කර නොමැති බව ඔවුහු පෙන්වා දෙති.
තවද යතුරුපැදි ලබාගැනීමට සුදුසුකම් සපුරා තිබියදීත් මෙතෙක් යතුරුපැදි නොලැබුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒවා ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක්ද මෙවර අයවැයට ඇතුළත් කර නොමැති බව සංගමය සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය රජය විසින් නොසලකා හැර ඇති බවට චෝදනා කරන එම සංගමය, පවතින ගැටලු සඳහා අයවැය තුළින්ම කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.



