
2027 අයවැය කථාව හෙට පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේදී
2027 අයවැය කථාව හෙට (12) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
අයවැය දෙවැනිවර කියවීමට අදාළ පාර්ලිමේන්තු විවාදය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වී 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එම කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතය.
ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා දින 19ක් වෙන්කර ඇත. එම විවාද කාලසීමාවට සෙනසුරාදා දින හතරක් ද ඇතුළත් වේ.
2027 අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.
අයවැය විවාදය පැවැත්වෙන දිනවල පාර්ලිමේන්තු කටයුතු සඳහා පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය වෙන්කර තිබේ. අනතුරුව පෙරවරු 10.00 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න පහක් සඳහා අවස්ථාව ලබාදී ඇත.
එසේම, පෙරවරු 10.30 සිට 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කාලය වෙන්කර ඇති අතර, පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.



