
ඇතාගේ මරණයට සැකකරුවෙකු අත්අඩංගුවට – දළය කැපීමට යොදාගත් බවට සැක කියතකුත් සොයාගනී
ඇතාගේ මරණයට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඇතාගේ මරණයට සැකකරුවෙකු අත්අඩංගුවට
කහටගස්දිගිලිය, මීමින්නාවල කුඹුක්වැව ප්රදේශයේදී දළයක් කපා ඉවත්කර තිබියදී මියගිය ඇතාගේ සිරුරක් සොයාගැනීමෙන් අනතුරුව මෙම විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව, ඇතාගේ දළය කපා ඉවත්කිරීම සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 34ක් වන හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර අඩවි ආරක්ෂක දම්මික සංජීව මහතාගේ මඟපෙන්වීම යටතේ කහටගස්දිගිලිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරුගේ නිවස සහ ඔහුගේ වගා පැල පරීක්ෂා කිරීමේදී අලි වෙඩිල්ලක්, පෙට්රල් යොදා සකස් කළ පුපුරණ උපකරණයක් සහ බඳින තුවක්කුවක් සොයාගෙන ඇත.
එමෙන්ම වෙඩි බෙහෙත් සහ ඒවාට අදාළ උපාංග සහිත මල්ලක්, වක් පිහියක්, යකඩ කපන කියතක් මෙන්ම මීමින්නාවල ප්රදේශයේදී ඇතා මියගොස් සිටි ස්ථානයෙන් කපාගත් බවට සැක කෙරෙන ලී දඬු කිහිපයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.
සොයාගත් යකඩ කපන කියත ඇතාගේ දළය කපා ඉවත්කිරීම සඳහා භාවිත කරන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (05) කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී සැකකරු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.



