උණුසුම් පුවත්

මහ බැංකු බැඳුම්කර නඩුව ජනවාරි 28 යළි කැඳවීමට නියෝග

මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එළඹෙන ජනවාරි 28 වනදා යළි කැඳවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

මහ බැංකු බැඳුම්කර නඩුවේ ඉදිරි කටයුතු සඳහා ලේඛන ලබාදීමටත් නියෝග

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව අද (02) ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ පී. ගුණවර්ධන යන අය ද අධිකරණයට පැමිණ සිටියහ.

කෙසේ වෙතත්, නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන දෙදෙනා නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය මීට පෙර තීරණය කර තිබේ.

අද පැවති නඩු විභාගයේදී ඇතැම් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ නඩුවට අදාළ ඇතැම් ලේඛන මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල නියෝග කළේ මීළඟ නඩු දිනයට පෙර අදාළ ලේඛන විත්ති පාර්ශ්වය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා වෙත එම ලේඛන ලබාදීමේ කටයුතු සිදුකරන ලෙස අධිකරණය දැනුම් දී තිබේ.

2015 වසරේ පෙබරවාරි 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button