
කුඩාවැල්ලේ ධීවරයින් සිව්දෙනා සුළි කුණාටුවෙන් නිරුපද්‍රිතව බේරාගැනේ
කුඩාවැල්ලේ ධීවරයින් සිව්දෙනා සුළි කුණාටුවකට මැදිව මුහුදේදී අතුරුදන්ව සිටියදී නිරුපද්‍රිතව සොයාගෙන තිබේ.
කුඩාවැල්ලේ ධීවරයින් සිව්දෙනා සොයා විශේෂ මෙහෙයුමක්
‘අර්නාබ්’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් සන්නිවේදන සබඳතා බිඳවැටීමෙන් මෙම ධීවරයින් පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි වී තිබූ අතර, ඔවුන් ගමන් කළ ධීවර යාත්‍රාව ද සමඟ ආරක්ෂිතව සොයාගැනීමට හැකි වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ ධීවර යාත්‍රාව අද (01) පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් පමණ දුරින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයකදී සොයාගෙන ඇත.
“IMUL-A-0022 TLE” යන ලියාපදිංචි අංකය සහිත මෙම යාත්‍රාව පසුගිය ඔක්තෝබර් 21 වැනිදා සිව්දින ධීවර කටයුත්තක් සඳහා කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබේ.
කෙසේ වෙතත්, ‘අර්නාබ්’ සුළි කුණාටුවත් සමඟ ඇති වූ තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් යාත්‍රාවේ සන්නිවේදන පද්ධතිය අක්‍රිය වී ඇති අතර, ගොඩබිම සමඟ පැවති සම්බන්ධතා ද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.
යාත්‍රාව පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට ධීවර දෙපාර්තමේන්තුවේ සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව එය සොයා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඒ අනුව ධීවර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ අදාළ මුහුදු කලාපයේ ගමන් කරමින් තිබූ අනෙකුත් ධීවර යාත්‍රා ද සම්බන්ධ කරගනිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
එම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අතුරුදන්ව සිටි ධීවරයින් සිව්දෙනා සහ ඔවුන් ගමන් කළ යාත්‍රාව සොයා ගැනීමට හැකි වී තිබේ.
බේරාගත් ධීවරයින් සිව්දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔවුන් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට සහාය වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට, වෙරළාරක්ෂක බලකායට සහ ධීවර ප්‍රජාවට අමාත්‍යාංශය සිය ස්තුතිය ද පළ කර තිබේ.
එමෙන්ම ඉදිරියේදී මුහුදු යන ධීවරයින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කරන කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ඉල්ලීමක් කර ඇත.
මුහුදු යාමට පෙර තම යාත්‍රාවල සන්නිවේදන උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න පරීක්ෂා කර තහවුරු කරගන්නා ලෙස ද ධීවර ප්‍රජාවට දැනුම් දී තිබේ.



