ප්‍රධාන පුවත්

දේශපාලන අධිකාරිය ජනතාවට සමීප කිරීම ගැන ජනපති හෙළිකරයි

 

දේශපාලන අධිකාරිය ජනතාවට සමීප කිරීම ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පරිවර්තන රැසක් බලයට පත්ව වසර දෙකක් ඇතුළත සිදු කිරීමට තම ආණ්ඩුව සමත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දේශපාලන අධිකාරිය ජනතාවට සමීප කිරීම රජයේ ප්‍රධාන පරිවර්තනයක්

අද (31) පැවති ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ දේශපාලන ගමන ආරම්භ කිරීමේ සිට එහි ප්‍රතිපත්තිමය පදනම සකස් කිරීම දක්වා ජාතික විද්වත් සංවිධානය ඉටු කළ කාර්යභාරය ද ජනාධිපතිවරයා එහිදී ඇගයීමට ලක් කළේය.

එම සංවිධානයේ දායකත්වය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

“අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ නියමු කාර්යභාරයක් ඉටු කළ සංවිධානයක් තමයි ජාතික විද්වත් සංවිධානය. ජාතික ජන බලවේගය කියන මේ දැවැන්ත දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමේ ආරම්භක අත්තිවාරම දැමුවේ ජාතික විද්වත් සංවිධානයයි.”

ජාතික විද්වත් සංවිධානය විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් හා වෘත්තිකයන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගයේ ව්‍යාප්තියට මෙන්ම එහි ප්‍රතිපත්ති හා අනාගත දැක්ම සකස් කිරීමට දායක වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම, පෙර පැවති දේශපාලන සම්බන්ධතා සීමාවෙන් ඔබ්බට ගොස් වෙනත් සමාජ කණ්ඩායම් සමඟ සංවාදයක් ගොඩනැගීමට එම සංවිධානය මැදිහත් වූ බව ද ඔහු සඳහන් කළේය.

2024 වසරේ ආණ්ඩු බලය ලබාගැනීමේදී එම දායකත්වය තීරණාත්මක වූ බව පවසමින් ජනාධිපතිවරයා එම සංවිධානයට ස්තූතිය පළ කළේය.

බලය ලබාගැනීම පමණක් සමාජ පරිවර්තනයක් සඳහා ප්‍රමාණවත් නොවන බවත්, ඒ වෙනුවෙන් දැක්මක්, කැපවීමක් සහ ක්‍රියාකාරී මැදිහත්වීමක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආර්ථික පරිවර්තනයට නව වැඩපිළිවෙළක්

රටේ ආර්ථිකය ස්වාධීන හා ස්වෛරී මට්ටමකට ගෙන ඒම මෙන්ම ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව ජනතාව අතර බෙදී යාම තහවුරු කිරීම රජයේ ඉදිරි අරමුණක් බව ජනාධිපතිවරයා පැවසීය.

පසුගිය වසර දෙක තුළ ආර්ථික පරිවර්තනයකට අවශ්‍ය මූලික පදනම සකස් කර ඇති බව පෙන්වා දුන් ඔහු, 2025 වසරේ අයවැය හිඟය අඩුම මට්ටමකට ගෙන ඒම සහ ජංගම ගිණුමේ ඉහළම ධන ශේෂයක් වාර්තා කිරීම පිළිබඳව ද අදහස් දැක්වීය.

එමෙන්ම, 2025 වසරේ ප්‍රාථමික ගිණුමේ ධන ශේෂය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, අපේක්ෂිත රාජ්‍ය ආදායම සියයට 110ක් දක්වා ළඟා වූ බවත් ඔහු සඳහන් කළේය.

රජය බලයට පත්වීමෙන් පසු අලුතින් බදු පැනවීමක් සිදු නොකළ බවත්, පවතින බදු කිහිපයක් අඩු කළ බවත් පැවසූ ජනාධිපතිවරයා ඉදිරි අයවැයෙන් ද බදු සහන ලබාදීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 8කට මඳක් ඉහළ අගයකට පැමිණීම හේතුවෙන් භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී ජනතාවට දුෂ්කරතා මතුව ඇති බව ද ඔහු පිළිගත්තේය.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර සැපයුම් මාර්ගවලට සිදුවූ බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගෑස්, තාර සහ ඉන්ධන සැපයුම් සම්බන්ධයෙන් ද එම තත්ත්වය බලපා ඇති බව සඳහන් කළ ඔහු, නැව් ගාස්තු, රක්ෂණ වියදම් සහ ප්‍රවාහන කාලය ඉහළ යාම ආර්ථිකයට අමතර පීඩනයක් ඇති කර තිබෙන බව පැවසීය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද එහි සම්පූර්ණ බර ජනතාව මත පැටවීමෙන් ආර්ථික වර්ධනයට බාධා ඇතිවිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඩීසල් සහ පෙට්‍රල් සඳහා සහනාධාර ලබාදීමට රජය කටයුතු කළ බවත්, ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගත් බවත් ඔහු පැවසීය.

නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ සැලසුම්

රටේ ආර්ථික පරිවර්තනය සඳහා ධීවර, කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂේත්‍රවල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ධීවර කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් විශාල හා මධ්‍ය පරිමාණ ධීවර යාත්‍රා ලබාදීමත්, යැපුම් ආර්ථිකයක් වෙනුවට කර්මාන්තමය ආර්ථිකයක් ඇති කිරීමත් රජයේ සැලසුම බව ඔහු පැවසීය.

කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පවතින නීතිමය බාධා පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අවශ්‍ය තාක්ෂණය, වෙළෙඳපොළ සහ ප්‍රාග්ධනය ලබාදීම සඳහා රුපියල් බිලියන 100ක මුදලක් වෙන්කර ඇති බව ද ඔහු අනාවරණය කළේය.

එමෙන්ම වරාය ක්ෂේත්‍රයේ නවීකරණය, නාවික කර්මාන්තයේ වර්ධනය සහ ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කිරීම තුළින් රටේ ආර්ථිකයට නව අවස්ථා නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

කටුනායක ගුවන්තොටුපොළේ වත්මන් පර්යන්ත ධාරිතාව මගීන් මිලියන හයකට සීමා වුවද, මේ වනවිට වාර්ෂිකව මගීන් මිලියන 10ක් පමණ හුවමාරු වන බව ඔහු පෙන්වා දුන්නේය.

එම ධාරිතාව මිලියන නවයක් දක්වා ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, දෙවන පර්යන්තය ද මෙම වසර තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

නීතියේ ආධිපත්‍යය සහ සමාජ පරිවර්තනය

ආර්ථික සංවර්ධනයට අමතරව සමාජයේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ද රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපතිවරයා පැවසීය.

සියලු පුරවැසියන්ට නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බවත්, පුද්ගලයන් හෝ සමාජ කණ්ඩායම් අනුව නීතිය වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ආගම, සංස්කෘතිය, භාෂාව සහ ස්ත්‍රී-පුරුෂභාවය මත කිසිවකුට වෙනස්කම් සිදු නොවන සමාජයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අල්ලස හා දූෂණය රටේ ආර්ථිකයට පමණක් නොව සමස්ත සමාජ පද්ධතියටම හානි කරන බව පැවසූ ඔහු, එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා රජය මැදිහත් වී ඇති බව සඳහන් කළේය.

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම ද සමාජ පරිවර්තනයේ වැදගත් අංගයක් බව ජනාධිපතිවරයා පැවසීය.

මේ වසර තුළ රුපියල් බිලියන 220ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවත්, නීතිවිරෝධී මුදල් විදේශගත කිරීමේ ජාල පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

දේශපාලන සංස්කෘතියේ වෙනස ගැන ජනපතිගේ අදහස

දේශපාලන ක්ෂේත්‍රයේ සිදුකර ඇති වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ පැරණි දේශපාලන සංස්කෘතිය තුළ පැවති වරප්‍රසාද සහ බලය අනිසි ලෙස භාවිත කිරීමේ ක්‍රමවේද වෙනස් කිරීමට තම ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි.

අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම, දේශපාලනඥයන්ට ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද අවම කිරීම සහ දේශපාලන බලය යොදා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීමේ සංස්කෘතිය වෙනස් කිරීම එම පියවර අතර වන බව ඔහු සඳහන් කළේය.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ,

“අවුරුදු දෙක ඇතුළත වැඩිම පරිවර්තනයක් අපි ඇති කරලා තියෙන්නේ දේශපාලනය තුළයි. දේශපාලන අධිකාරිය ජනතාවට සමීප කරවා තිබෙනවා.”

මෙවැනි වෙනස්කම්වලට පැරණි දේශපාලන ක්‍රමය තුළ වරප්‍රසාද භුක්ති විඳි පිරිස් විරෝධය පළ කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම දේශපාලන විරුද්ධවාදීන්ට තම විරෝධතා විධිමත් හා දැක්මක් සහිතව ඉදිරිපත් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

අවසානයේ ජනාධිපතිවරයා සඳහන් කළේ, ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු රට තුළ අපේක්ෂිත ආර්ථික, දේශපාලන සහ සමාජීය පරිවර්තනයන් සම්පූර්ණ කිරීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button