
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්- ජනතාවට දැනුම්දීමක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් නිකුත් කර ඇති අතර, ජලාශයෙන් පහළ ප්රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමේ අවදානමක් – පහළ ප්රදේශවල ජනතාවට දැනුම්දීමක්
කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම මේ වන විට මුහුදු මට්ටමේ සිට මීටර් 696.96ක් (696.96 m/MSL) ලෙස සටහන් වී ඇත. එය ජලාශයේ සමස්ත ධාරිතාවයෙන් සියයට 78.71ක් පිරී පවතින මට්ටමකි.
ජලාශයේ උපරිම ජල මට්ටම වන මුහුදු මට්ටමේ සිට මීටර් 703.00 දක්වා ළඟා වීමට පෙර තවත් ඝන මීටර් මිලියන 36.381ක (36.381 MCM) ජල ප්රමාණයක් සඳහා ඉඩකඩ පවතින බව සඳහන් වේ.
කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජලාශයට ගලා එන ජල ප්රමාණය අනුව ඉදිරියේදී එය වාන් මට්ටමට ළඟා වීමේ හැකියාවක් පවතී. එබැවින් වාන් දොරටු ක්රියාත්මක කිරීමට සිදුවිය හැකි බවට පූර්ව දැනුම්දීමක් සිදුකර තිබේ.
මේ හේතුවෙන් කොත්මලා ඔය පහළ නුගවෙල, රිවර්සයිඩ් සහ මාවතුර ප්රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් පසුවිය යුතුය.
එසේම මහවැලි ගඟේ උලපනේ ප්රදේශයේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා ප්රදේශවල ජනතාව ද ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දී ඇත.
ජලාශයේ වාන් දොරටු ක්රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව නැවත දැනුම්දීමක් සිදුකරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.



