
විදුලි වාහන බැටරි කළමනාකරණයට ජාතික වැඩපිළිවෙළක් නැති බව හෙළිවෙයි
මෙරට භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි කළමනාකරණයට විධිමත් ජාතික වැඩපිළිවෙළක් නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ. විදුලි වාහන බැටරි කළමනාකරණයේ පවතින මෙම අඩුපාඩුව හේතුවෙන් පරිසරයට සහ සේවක ආරක්ෂාවට අවදානම් ඇතිවිය හැකි බව ද විශේෂ විගණන වාර්තාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ විදුලි වාහන භාවිතය, ඒවා භාවිතයෙන් ඉවත් කළ පසු සිදුකරන කළමනාකරණ කටයුතු සහ පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාව මගින් මේ බව අනාවරණය කර ඇත.
2020 වසරේ හඳුන්වා දුන් ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය යටතේ භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි කළමනාකරණය සඳහා අපේක්ෂිත වැඩපිළිවෙළ ඵලදායී ලෙස ක්‍රියාත්මක වී නොමැති බව ද විගණනයේදී හෙළි වී තිබේ.
බැටරි එකතු කිරීම, ගබඩා කිරීම, ප්‍රතිචක්‍රීකරණය, ප්‍රවාහනය සහ අවසාන වශයෙන් බැහැර කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ ක්‍රමවේදයක් ස්ථාපිත කර නොමැති බව වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම භාවිතයෙන් ඉවත් කරන බැටරිවල ගමන් මඟ නිරීක්ෂණය කිරීමට අවශ්‍ය පද්ධතියක් ද ක්‍රියාත්මක නොවන බව අනාවරණය කර ඇත.
බැටරි කළමනාකරණයට සම්බන්ධ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ප්‍රමාණවත් නොවීම ද මෙම තත්ත්වයට බලපාන කරුණක් ලෙස විගණන කාර්යාලය පෙන්වා දෙයි.
ක්ෂේත්‍ර පරීක්ෂණවලදී ඇතැම් භාවිත කළ බැටරි විවෘත ස්ථානවල ගබඩා කිරීම සහ විශාල බෑග්වල ඇසුරුම් කිරීම වැනි ක්‍රම අනුගමනය කරන බව ද නිරීක්ෂණය වී තිබේ. එවැනි ක්‍රියාමාර්ග මගින් සේවක ආරක්ෂාවට මෙන්ම පරිසරයට ද අවදානම් මතුවිය හැකි බව වාර්තාව අවධාරණය කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි කළමනාකරණ කර්මාන්තය ආරම්භක අවධියේ පවතින අතර, බැටරි ආපසු භාරගැනීමේ ජාතික ක්‍රමවේදයක් හෝ පුළුල් නිරීක්ෂණ පද්ධතියක් ද ස්ථාපිත කර නොමැත. ගබඩා කිරීම සහ ප්‍රවාහනය සඳහා ප්‍රමිතිගත ක්‍රියාපටිපාටි නොමැතිවීම නිසා මෙම කටයුතු බොහෝදුරට තාවකාලික වාණිජ විධිවිධාන මත සිදුවන බව ද අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි මහා පරිමාණයෙන් බැහැර කිරීමේ අවධියට ශ්‍රී ලංකාව තවමත් පැමිණ නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, 2026 අංක 15 දරන ජාතික පාරිසරික සංශෝධන පනත මගින් බැටරි කළමනාකරණය සම්බන්ධයෙන් නිෂ්පාදකයින්ගේ සහ ආනයනකරුවන්ගේ වගකීම් නියාමනය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී තිබේ. එහෙත් එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා අතිරේක රෙගුලාසි, මෙහෙයුම් ක්‍රියාපටිපාටි සහ අධීක්ෂණ යාන්ත්‍රණ කඩිනමින් සකස් කළ යුතු බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
අදාළ අඩුපාඩු නිවැරදි කිරීමට කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී භාවිතයෙන් ඉවත් කරන ලිතියම්-අයන බැටරි ප්‍රමාණය ඉහළ යාමත් සමඟ පාරිසරික දූෂණ අවදානම ද වැඩිවිය හැකි බව විගණන වාර්තාව අනතුරු අඟවයි.



