උණුසුම් පුවත්

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ගැන අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් හෙට (23) දිනය වනවිට නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් මුහුදු කටයුතුවල නිරත වන පිරිස් අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ගිනිකොණ දිග සහ ඊට යාබද නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මෙම අඩු පීඩන කලාපය වර්ධනය විය හැකි බවයි.

එම පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් ද පවතින බව නිවේදනයේ දැක්වේ.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස අදාළ පිරිස් වෙත උපදෙස් ලබා දී තිබේ.

එම මුහුදු ප්‍රදේශවල දැනටමත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද (22) දින ලබාගත් දත්ත මත පදනම්ව ඉදිරි පැය 168 තුළ මෙම පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව ද ඇගයීමට ලක් කර තිබේ.

එබැවින් ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු මහජනතාව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button