
කාවන්තිස්ස ඇතාගේ සිද්ධියට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි – සැකකරුගේ බිරිඳගෙන් ආයාචනයක්
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳ, තම සැමියාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. තම සැමියා අදාළ වරද සිදු නොකළ බව ඇය පවසන අතර, මෙම සිද්ධිය හේතුවෙන් තම පවුලට සමාජයෙන් එල්ල වන බලපෑම් පිළිබඳව ද ඇය අදහස් පළ කර තිබේ.
ඇය තම සැමියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවාය.
“වලානෙන් කියලා 15ක් විතර ආවා…ඒ ඇවිල්ලා කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා,ඔයා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා. මහත්තයා කිව්වා මම නොකරපු දෙයක් කවදාවත් පිළිගන්න බෑ කියලා.
මමත් රජයේ සේවකයෙක් මගේ මහත්තයාත් රජයේ සේවකයෙක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා අපරාධකාරයෙක් කියලා සමාජ මාධ්‍යයේ පළවෙනවා. අපි හතරදෙනාට සමාජයට මූණදෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා මහත්තයෝ…මේක හරි අපරාධයක්.
මගේ මහත්තයා කවදාවත් එහෙම අපරාධයක් කරලා නෑ. අපි ලොකු වියදමක් දරලා අලි වැටක් ගහලා තියෙනවා. ඒ වගේ සත්තුන්ට අපි කවදාවත් එහෙම කරලා නෑ. මේක හරිම අසාධාරණයක්.
අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා රජයෙන් ඉල්ලනවා. මේ තියෙන්නේ බලපත්‍රය තියෙන තුවක්කුව. ඒකත් අරන් ගියා.”
සැකකරුගේ බිරිඳ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, තම සැමියා වරදක් සිදුකර නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සත්‍යය අනාවරණය කරගත යුතු බවත්ය.
සැකකරුවන් දෙදෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
කාවන්තිස්ස නමින් ප්‍රසිද්ධ දළ හස්තියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මහත්මිය ඊයේ (19) නියෝග කළාය.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ද සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර ඒවායේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අඹන්පොළ පොලීසියට නියෝග කර තිබේ.
අඹන්පොළ පොලීසිය බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය.
මීට පෙර ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් චතුරිකා හතුරුසිංහ මහත්මිය විසින් ද මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.
ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබූ ගිනිඅවි දෙකක් අත්අඩංගුවට
වනජීවී දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව කාවන්තිස්ස දළ ඇතාගේ උස අඩි 11යි අඟල් 3ක් වන අතර, දළ යුගළයේ දිග අඩි 5යි අඟල් 1කි. හස්තියාගේ බර කිලෝග්‍රෑම් 5,000ත් 5,500ත් අතර වන බව සඳහන් වේ.
සැකකරුවන් දෙදෙනා සමඟ බෝර 12 වර්ගයේ ගිනිඅවි දෙකක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ. එම ගිනිඅවි සැකකරුවන්ට අයත් බලපත්‍ර සහිත නීත්‍යානුකූල ගිනිඅවි බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වා ඇත.
සිද්ධියට තවත් පුද්ගලයන් සම්බන්ධ වී ඇත්දැයි අනාවරණය කර ගැනීම සඳහා ද විමර්ශන සිදුකරන බව පොලීසිය අධිකරණයට ප්‍රකාශ කළේය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරයාගෙන් කරුණු දැක්වීමක්
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ මහතා සඳහන් කළේ, තම සේවාදායකයන් කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය.
කිසිදු සාක්ෂියක් නොමැතිව පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පදනම් කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම යුක්තිසහගත නොවන බව ද නීතිඥවරයා පෙන්වා දුන්නේය.
තවද, හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිවූ කැලඹිලි සහගත තත්ත්වය සමනය කිරීම සඳහා පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවට ද ඔහු චෝදනා කළේය.
සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ද නීතිඥ උදය රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කාවන්තිස්ස ඇතාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලීමක්
අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ලෝක සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතාගේ උපදෙස් මත අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ සඳගිරි බණ්ඩාර මහතා සඳහන් කළේ, කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලීසිය විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවය.
මෙම සිද්ධිය හේතුවෙන් සමාජය තුළ විශාල කැලඹීමක් ඇතිවී තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරයා, මියගිය හස්තියාට යුක්තිය ඉටු කිරීම සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් දෙදෙනා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු වන අතර, ඔවුන් ඇහැටුවැව හුලුගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, සැකකරුවන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.



