ප්‍රධාන පුවත්

මිහින්තලේ මිහිඳු මහ සෑයේ කොත්වහන්සේ නිරාවරණය අද

මිහිඳු මහ සෑයේ කොත්වහන්සේ නිරාවරණය කිරීම සහ චූඩා මාණික්‍යය පැළඳවීම අද (18) පස්වරු 1.00ට යෙදෙන සුබ නැකතට සිදුකිරීමට නියමිතය.

 

මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2,286ක් සපිරීම නිමිත්තෙන් මෙම පුණ්‍ය මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ බුදු දහම ශ්‍රී ලංකාවට වැඩම කරවීම හේතුවෙන් මිහින්තලයට මෙරට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත.

 

මෙම පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් මිහිඳු මහ සෑයට පැළඳවීම සඳහා අභිනව කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය තායිලන්තයේ සිට මෙරටට වැඩම කරවා තිබේ. තායිලන්ත නියෝජ්‍ය අගමැතිනිය ඇතුළු එරට සැදැහැවතුන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් පූජා කර ඇති එම කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යයේ වටිනාකම රුපියල් ලක්ෂ 1,170 ඉක්මවයි.

 

දෙරණ මාධ්‍ය ජාලයේ පූර්ණ මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් සිදුකෙරෙන මෙම කටයුත්තේදී කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය මුලින්ම මරදානේ පිහිටි දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත වැඩම කරවා තිබුණි. එහිදී ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා විසින් ඒවා මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙත නිල වශයෙන් පූජා කරනු ලැබීය.

 

අනතුරුව මිහින්තලය දක්වා වැඩම කරවන අතරතුර කඩවත රන්මුතුගල රජමහා විහාරය, කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය සහ ගලේවෙල ධර්මදූත බෞද්ධ මධ්‍යස්ථානය යන ස්ථානවලදී සැදැහැවතුන්ට එම පූජනීය වස්තූන් වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

 

ඔක්තෝබර් 9 වැනිදා සිට 13 වැනිදා දක්වා මිහින්තලා රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කොත්වහන්සේ පසුව මිහිඳු මහ සෑ රදුන්ට පැළඳවීම සිදුකර ඇත.

 

ඒ අනුව, මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2,286ක් සපිරෙන අද පස්වරු 1.00ට ත්‍රෛනිකායික නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොත්වහන්සේ නිරාවරණය කිරීම සහ චූඩා මාණික්‍යය පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතය.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button