ප්‍රධාන පුවත්

ශිරන්ති රාජපක්ෂගේ වෛද්‍ය වාර්තාව අධිකරණයට

ශිරන්ති රාජපක්ෂගේ වෛද්‍ය වාර්තාව අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවේ ඇයට බයිපාස් සැත්කමක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතින බව සඳහන් වන බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත රුපියල් මිලියන 10ක මුදලක් ලබාදීමේ සිද්ධියට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ශිරන්ති රාජපක්ෂ මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සමඟ අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු එහි ඇතුළත් බව ද අධිකරණයේදී ප්‍රකාශ විය.

මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, වෛද්‍ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් පසු කරුණු ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, නඩුවේ වැඩිදුර කටයුතු අද පස්වරු 2.45 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button