ප්‍රධාන පුවත්

සංචාරක ක්ෂේත්‍රය වේගයෙන් සංවර්ධනය කිරීමට තීරණ රැසක්

ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයන් සහ විදේශ කටයුතු,

විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නරඹුම් ස්ථාන වෙත පහසුවෙන් පිවිසීමට හැකි වන පරිදි ඩිජිටල් ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමේ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙන්ම, සංචාරක වීසා නිකුත් කිරීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරිණි.

එසේම සංචාරකයන්ගේ පහසුව උදෙසා රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා විධිමත් කිරීම,

ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු හඳුනාගෙන විසඳුම් ලබාදීම, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ප්‍රධාන සංචාරක ගමනාන්ත අතර නව බස් රථ සේවා ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මේ වන විට ආරම්භ කර ඇති බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී සලකා බැලීම සිදු කෙරිණි.

ඒ සමඟම මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතන සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා කෙසේ යොදාගත හැකිද යන්න පිළිබඳවද අවධානය යොමු විය.

තවද සංචාරකයන් මුහුණ දෙන ගැටලු සංචාරක පොලිසිය මගින් කාර්යක්ෂමව විසඳීම,   තල්මසුන් නැරඹීමේ මධ්‍යස්ථානවල පවතින ගැටලු සහ සමස්ත සංචාරක ක්ෂේත්‍රයේ නිරත පාර්ශ්වකරුවන් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ,  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු,  විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button