
මෙරට HIV ආසාදන ඉහළ යාමට ප්‍රධාන හේතුවක් හෙළිවෙයි
HIV ආසාදන ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා මෙරට HIV ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධකයක් බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පවසයි.
වර්තමානයේ HIV ආසාදිත කාන්තාවක වාර්තා වන විට ආසාදිත පිරිමි පුද්ගලයන් හත්දෙනෙකු වාර්තා වන ප්‍රවණතාවක් පවතින බව ද ඇය පෙන්වා දුන්නාය.
අද (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය, රෝග වැළැක්වීමේ ක්‍රම සහ ඉදිරි නවෝත්පාදන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම එහි අරමුණ විය.
ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (SLCoSHH) සභාපතිනිය වන ඇය සඳහන් කළේ, මෙරට HIV ආසාදන වැඩි වශයෙන් හඳුනාගන්නේ පිරිමින් අතර ලිංගික සබඳතා පවත්වන පුද්ගලයන් අතර බවයි. මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමේදී ද HIV ආසාදනය වීමේ අවදානමක් පවතින බව ඇය අවධාරණය කළාය.
2021න් පසු ආසාදන ඉහළ යාමේ ප්‍රවණතාවක්
1986 වසරේදී මෙරට පළමු ඒඩ්ස් රෝගියා වාර්තා වීමෙන් පසු ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය මෙන්ම SLCoSHH ආයතනය ද රෝග පාලනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ.
2021 වසර දක්වා රෝග පාලන කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වුවද, කොවිඩ් වසංගතය හේතුවෙන් එම කටයුතුවල යම් පසුබෑමක් ඇති වූ බව විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය. 2023 වසරේ සිට HIV ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම ආරම්භ වූ අතර, 2026 වසරේදී ද එම ප්‍රවණතාව අඛණ්ඩව දක්නට ලැබෙන බව ඇය සඳහන් කළාය.
කොවිඩ් වසංගතයෙන් පසු අන්තර්ජාල භාවිතය ඉහළ යාම, ආර්ථික අර්බුදය, මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩිවීම මෙම තත්ත්වයට බලපා ඇති සාධක ලෙස හඳුනාගෙන තිබේ.
මුදල් මත පදනම් වූ ලිංගික සබඳතාවලදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම ද HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියට බලපාන බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
උපදංශ රෝගීන්ගේ සංඛ්‍යාවත් ඉහළ යයි
මෙරට HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යන අතර, වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. දිවයිනේ සියලුම වයස් කාණ්ඩ සහ විවිධ වෘත්තීන්හි නිරත පුද්ගලයන් අතරින් ආසාදිතයන් හඳුනාගන්නා බව ද විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.
එමෙන්ම, උපදංශ රෝගීන්ගේ සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 2021 වසරට පෙර වසරකට උපදංශ රෝගීන් 80ත් 100ත් අතර සංඛ්‍යාවක් වාර්තා වූ නමුත්, මේ වනවිට එය වසරකට රෝගීන් 1,500ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ඇය සඳහන් කළාය.
2026 වසරේදී හෙපටයිටිස් බී රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2025 වසරේදී හෙපටයිටිස් සී රෝගීන් සංඛ්‍යාව සිව් ගුණයකින් පමණ වැඩි වී ඇති බව ද ඇය අනාවරණය කළාය.
HIV වැළැක්වීමට සහ ප්‍රතිකාර සඳහා නොමිලේ පහසුකම්
HIV ආසාදන වැළැක්වීම සහ ආසාදිත පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ශ්‍රී ලංකාව තුළ නවීන ප්‍රතිකාර ක්‍රමවේද පවතින බව විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පැවසුවාය.
අතුරු ආබාධ අවම වීම, භාවිත කළ යුතු ඖෂධ ප්‍රමාණය අඩු වීම සහ නොමිලේ ප්‍රතිකාර ලබාගැනීමට හැකි වීම එම ක්‍රමවේදවල ප්‍රධාන වාසි වේ.
HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුවද, වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.
ලිංගික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඔක්තෝබර් 29 සිට
මේ අතර, ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 31 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරය සහ සමුළුව ඔක්තෝබර් 29 සිට 31 දක්වා කොළඹ පෞද්ගලික හෝටලයකදී පැවැත්වීමට නියමිතය.
“Bridging to Tomorrow – Advancing Sexual Health and HIV Medicine through Collaboration and Innovation” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව SLCoSHH ආයතනය සහ බ්‍රිතාන්‍ය HIV සංගමය එක්ව සංවිධානය කරයි.
එහි සමාරම්භක සැසිය ඔක්තෝබර් 29 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ද විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය සඳහන් කළාය.
මෙම මාධ්‍ය හමුවට SLCoSHH ආයතනය නියෝජනය කරමින් එහි සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් වන ප්‍රගීත් ප්‍රේමදාස සහ ලිලානි රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



