ප්‍රධාන පුවත්

රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවට චෝදනා

කොළඹ වරායේ මත්ද්‍රව්‍ය අඩංගු බහාලුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරට අනුව ක්‍රියා කිරීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු අදාළ නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම අභ්‍යන්තර විමර්ශනය සිදුකර ඇත්තේ පසුගිය අගෝස්තු 31 වනදා කොළඹ වරායේ බහාලුමක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අදාළවය.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කර කොළඹ වරායේ ඇති බවට රන්මල් කොඩිතුවක්කු මහතාට අගෝස්තු 14 වනදා තොරතුරක් ලැබී තිබූ බවය.

එම තොරතුර ලැබුණු දිනයේදීම එය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත දැනුම්දී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

කෙසේවෙතත්, අදාළ තොරතුර අගෝස්තු 22 වනදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතා වෙතද ලැබී තිබේ.

ඒ අනුව ඔහු අවශ්‍ය පියවර ගෙන අගෝස්තු 31 වනදා කොළඹ වරායට ගොස් රේගු නිලධාරීන් සමඟ එක්ව අදාළ බහාලුම විවෘත කර ඇති අතර, එහි තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ තිබේ.

කෙසේවෙතත්, මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමේ මූලික කටයුතු සිදුකර ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව ලැබුණු තොරතුර සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු අදාළ නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවත්, නොසැලකිලිමත් ලෙස ක්‍රියාකර ඇති බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ අභ්‍යන්තර විමර්ශනයට අමතරව අපරාධ විමර්ශනයක් සිදුකිරීම සුදුසු බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිය වාර්තාව මගින් නිර්දේශ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

එම වාර්තාව අනුව රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී සිදුවූ බව කියන රාජකාරි පැහැර හැරීම හා නොසැලකිල්ල යම් පාර්ශ්වයකට වාසිදායක තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් සිදුවූයේද යන්න පිළිබඳවද විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

එම අපරාධ විමර්ශනය මගින් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් කරුණු අනාවරණය වන්නේද යන්න තහවුරු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button