
සූර්ය බලශක්ති කාර්මික ශිල්පීන්ට නව නියාමන ක්‍රමයක් – NVQ සුදුසුකම අනිවාර්යයි
2028 සිට NVQ 3 අනිවාර්ය වන අතර 2030 සිට NVQ 4 සහ ඉංජිනේරු සභාවේ ලියාපදිංචිය අනිවාර්ය කෙරේ
ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්රයේ කටයුතු කරන සූර්ය බලශක්ති කාර්මික ශිල්පීන් නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් නව රීති ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම නව නීති අනුව 2028 ජනවාරි 01 සිට 2029 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සූර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට අදාළ වෘත්තිය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය නිපුණතා සුදුසුකම් (NVQ) 3 වන මට්ටම අවම සුදුසුකම ලෙස සපුරා තිබීම අනිවාර්ය වේ.
2030 ජනවාරි 01 වනදා සිට එම වෘත්තියේ නිරත වීමට නම් සූර්ය බල තාක්ෂණය සම්බන්ධයෙන් අවම වශයෙන් NVQ 4 වන මට්ටමේ සුදුසුකමක් ලබා තිබිය යුතු බව සඳහන් වේ.
මීට අමතරව, ඉංජිනේරු කාර්මික ශිල්පියෙකු ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වීමද අනිවාර්ය කර ඇත.
2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්කය වෙනුවෙන් වාර්ෂිකව සූර්ය බල පද්ධති හරහා මෙගාවොට් 600ක පමණ ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අවශ්‍ය වී තිබේ.
මේ වන විට සූර්ය බල පද්ධති ආනයනය සහ ස්ථාපනය සඳහා සමාගම් 1,000කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් බලපත්‍ර ලබාගෙන ඇත.
සූර්ය බල පද්ධති කර්මාන්තයේ මේ වන විට පුද්ගලයන් 10,000කට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටියද, ඔවුන්ගෙන් බහුතරයකට එම ක්ෂේත්රයේ නිපුණතාව පිළිබඳ පිළිගත් වෘත්තීය සහතිකයක් නොමැති බවද සඳහන් වේ.
වාර්ෂිකව මෙගාවොට් 600ක පමණ සූර්ය බල පද්ධති ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව සපුරාලීම සඳහා වසරකට සූර්ය බල තාක්ෂණ ශිල්පීන් 5,000ක් පමණ බිහි කිරීම අවශ්‍ය වී තිබේ.
කෙසේ වෙතත්, සූර්ය බල තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය සඳහා අවශ්‍ය පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමද ගැටලුවක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.
එමෙන්ම සූර්ය බල තාක්ෂණය සම්බන්ධයෙන් උපදේශකවරුන් සිටින්නේද සීමිත සංඛ්‍යාවක් බව සඳහන් වේ.
මෙම ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් සූර්ය බල තාක්ෂණ ශිල්පීන් 5,000ක් සහ උපදේශකවරුන් හා පරීක්ෂකවරුන් 100ක් බිහිකිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එක්ව ක්‍රියාත්මක කර තිබේ.
එම වැඩසටහන යටතේ මේ වන විට සූර්ය බල තාක්ෂණ ශිල්පීන් 1,500ක් පුහුණු කර ඇති බව සඳහන් වේ.
පුහුණුව ලැබූ ශිල්පීන්ට RPL ක්‍රමවේදය යටතේ සූර්ය බල තාක්ෂණය සම්බන්ධ NVQ 3 සුදුසුකම කඩිනමින් ලබාදීම සඳහා විශේෂ වැඩසටහනක්ද මේ වන විට ක්‍රියාත්මකයි.
එහිදී සූර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස වසර දෙකකට වැඩි පළපුරුද්දක් ඇති කාර්මික ශිල්පීන් සඳහා නොමිලේ NVQ සුදුසුකම ලබාදීමට කටයුතු කරනු ලබයි.



