ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50ක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (26) මිහින්තලේ පූජා භූමියෙන් ආරම්භ කර තිබේ.

මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ තවත් පිරිසක් මෙම පෙත්සමට අත්සන් තැබීම සඳහා එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ මිහින්තලය විහාරාධිපති හිමියන්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 6ක සිර දඬුවමක් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොදු සමාව ලබාදී නිදහස් කර තිබුණි.

කෙසේවෙතත්, එම තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 10 වැනිදා තීන්දු කළේය.

මෙහිදී අදහස් දැක්වූ මිහින්තලය විහාරාධිපති හිමියෝ,

“අනෝජන් නමැති හින්දු සහෝදරයාට මරණ දඬුවම ලබාදෙන්න තීරණය කරලා තියෙනවා. නමුත් සිංහල දෙමළ භික්ෂු භික්ෂුණී සියලුම ආගම්වල නායකයින් කියනවා ඔහුට සරල දඬුවමක් දීල අපේ රටට පිටුහල් කරන්න කියලා.

අභය දෙන්න කියලා ලෝකෙට ඉස්සෙල්ලාම කිව්වේ මේ පුදබිමේ. මිහිඳු හාමුදුරුවෝ කිව්වේ ඔබ අයිතිකරු නෙමෙයි භාරකාරයා පමණි කියලා.

මේ අභයදානය දුන් ස්ථානයේ ඉඳන්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාරාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව දෙන්න කියලා.

අපි ඒ සඳහා අත්සන් ලබාගෙන මහානායක හාමුදුරුවන්ට ලබා දී ජනාධිපතිතුමාට එම අත්සන් පත්‍රය ලබා දීමට කටයුතු කරනවා” යැයි පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button