උණුසුම් පුවත්

චාමර සම්පත්ගේ හිටපු ලේකම් යළි රිමාන්ඩ්

චාමර සම්පත්ගේ හිටපු ලේකම්වරයා ලබන ඔක්තෝබර් 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සැලසීමට සැකකරු ක්‍රියා කර ඇති බවයි.

එම සමාගම්වලට පොස්පේට් ආනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගෙන තම බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් චාමර සම්පත්ගේ හිටපු ලේකම්වරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button