
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අධිකරණ මතය අද පාර්ලිමේන්තුවට
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අර්ථනිරූපණය අද (22) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතය. අදාළ අධිකරණ තීරණය මේ වනවිට කථානායකවරයා වෙත ලැබී ඇති බව වාර්තා වේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් විවිධ පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් පෙත්සම් 67ක් ගොනුකර තිබූ බව සඳහන් වේ.
එම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණි. සැප්තැම්බර් 2 වැනිදා විභාගය අවසන් කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අර්ථනිරූපණය කථානායකවරයා වෙත යොමු කරන බව අධිකරණය දැනුම් දී තිබුණි.
මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබේ.
එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විසින් සැප්තැම්බර් 24 වැනිදා පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක් සංවිධාන කර ඇති බවද සඳහන් වේ.



