ප්‍රධාන පුවත්

කාන්තාවන්ට මානුෂීය ආධාර ලෙස ඩොලර් ලක්ෂ 2.5ක තොගයක්

කාන්තාවන්ට මානුෂීය ආධාර ලෙස අමෙරිකානු ඩොලර් 250,641ක් වටිනා හදිසි ආපදා සහන තොගයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

ආපදා හෝ හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවකදී විශේෂයෙන් අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැණු ළමුන් සහ ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.

එමෙන්ම එවැනි අවස්ථාවලදී අවශ්‍ය සෞඛ්‍ය සේවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් ශක්තිමත් කිරීම සහ රටේ ආපදා පෙර සූදානම වැඩිදියුණු කිරීමද මෙහි අරමුණු අතරට එක් වේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් මෙම හදිසි ආපදා මානුෂීය ආධාර තොගය ඊයේ (11) මෙරටට භාරදී තිබේ.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන් විසින් ලබාදී ඇත.

ආධාර තොගය තුළ ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු කූඩාරම් 08ක් සහ සූර්ය බලශක්ති ආලෝක පද්ධති සහිත කූඩාරම් 03ක් ද ඇතුළත් වේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ගමන් කට්ටල 999ක් සහ ගැබිණි මව්වරුන් වෙනුවෙන් භාණ්ඩ කට්ටල 1,283ක් ද එහි අන්තර්ගතය.

මීට අමතරව වැඩිහිටි කට්ටල 246ක් මෙන්ම කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය කට්ටල 1,659ක් ද ආධාර තොගයට ඇතුළත් කර තිබේ.

මෙම ආධාර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීම පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේදී සිදුකර ඇත.

ඒ සඳහා මෙරට නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් රූත් බෙයාර්ඩ් සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වංයෙල් යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම සහන ද්‍රව්‍ය ආපදා අවදානම වැඩි දිස්ත්‍රික්කවල උපායමාර්ගිකව පෙර ස්ථානගත කිරීමට පියවර ගන්නා බවයි.

ආපදා තත්ත්වයන් හේතුවෙන් මාර්ග හා ප්‍රාදේශීය යටිතල පහසුකම්වලට හානි සිදුවුවහොත් ඇතිවිය හැකි ප්‍රවාහන ප්‍රමාද අවම කර ගැනීමට එම ක්‍රමවේදය උපකාරී වනු ඇත.

ඒ අනුව හදිසි අවස්ථාවකදී සෞඛ්‍ය වෘත්තිකයන්ට අවශ්‍ය උපකරණ සහ සම්පත් අදාළ ප්‍රදේශවලින්ම ලබාගැනීමට හැකි වන අතර, ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ද කඩිනමින් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන්, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button