ප්‍රධාන පුවත්

මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලීමක්

ජාතික ක්‍රියාවලීන්, සංවාදය, සහයෝගීතාව සහ තාක්ෂණික සහය ඔස්සේ රටක් මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගන්නා අවස්ථාවලදී, එම රටට අදාළ යෝජනා අවසන් කිරීම සඳහා විශ්වාසදායක ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ශ්‍රී ලංකාව පවසයි.

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේ 2 වැනි න්‍යාය පත්‍ර අයිතමය යටතේ පැවති සාමාන්‍ය විවාදයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපති සුමිත් දසනායක මහතා මේ බව අවධාරණය කර තිබේ.

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක්

මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සකස් කළ ලිඛිත යාවත්කාලීන වාර්තාවක්ද කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

මහ කොමසාරිස්වරයා අමතමින් තානාපති සුමිත් දසනායක මහතා සඳහන් කර ඇත්තේ, වර්තමානයේ සන්නද්ධ ගැටුම්, ජනතාව අවතැන්වීම් සහ මානුෂීය අර්බුද ඇතුළු බරපතළ මානව හිමිකම් ගැටලු රැසකට ජාත්‍යන්තර ප්‍රජාව මුහුණදී සිටින බවයි.

දැඩි ගෝලීය අභියෝග වෙත අවධානය

එවැනි පසුබිමකදී මානව හිමිකම් කවුන්සිලයේ සම්පත් වඩාත් හදිසි සහ දැඩි ගෝලීය අභියෝග කෙරෙහි යොමු කළ යුතු බවද ශ්‍රී ලංකාවේ නියෝජිතයා පෙන්වා දී තිබේ.

රටක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ක්‍රියාවලීන් පැහැදිලිව නිර්වචනය කළ අරමුණු සහ මැනිය හැකි ප්‍රතිඵල මත පදනම්ව නිශ්චිත කාල පරාසයන් තුළ සමාලෝචනය කළ යුතු බවද ඔහු අවධාරණය කර ඇත.

රට-විශේෂිත යෝජනා සඳහා කාලසීමාවක්

යෝග්‍ය අවස්ථාවලදී රට-විශේෂිත යෝජනා සඳහා කාලසීමා අවසන් කිරීමේ වගන්ති (Sunset clauses) සහ අදියර වශයෙන් එම ක්‍රියාවලීන් ඉවත් කිරීමේ විධිවිධාන පැහැදිලිව ඇතුළත් කළ යුතු බවටද ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබේ.

මේ අතර, පැවති සාමාන්‍ය විවාදයේදී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් රටවල් කිහිපයක්ම ඇගයීම් පළ කළ බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button