ප්‍රධාන පුවත්

2026/27 මහ කන්නයේ වී වගාවට කලාප අනුව කාලසටහනක්

2026/27 මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ කළ යුතු කාලසීමාව කලාප අනුව සැලසුම් කිරීමට යෝජනා වී තිබේ.

පවතින ජල සම්පත කාර්යක්ෂමව භාවිත කරමින් වගා කටයුතු කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම කාලසටහන ඉදිරිපත් කර ඇත.

කලාප අනුව වී වගාව ආරම්භ කරන දින

යෝජිත කාලසටහනට අනුව වලව කලාපයේ වී වගාව ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

අල්ල කලාපයේ වගා කටයුතු ඔක්තෝබර් 15 වැනිදා ආරම්භ කිරීමට යෝජනා කර ඇති අතර, කවුඩුල්ල කලාපයේ නොවැම්බර් 01 වැනිදාත්, ඇළහැර කලාපයේ නොවැම්බර් 10 වැනිදාත් වගා කටයුතු ආරම්භ කිරීමට යෝජනා කර තිබේ.

ජලය කළමනාකරණයට මුල් තැන

ජල කළමනාකරණ ලේකම් කාර්යාලය පෙන්වා දෙන්නේ දෙසැම්බර් මාසයේ සිට ලබන අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවට අවම වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ජල සම්පත උපරිම කාර්යක්ෂමතාවකින් භාවිත කිරීමට ඔක්තෝබර් මස මුලදී වී වගාව ආරම්භ කිරීම සුදුසු බවය.

මේ අතර, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි කාලගුණික වෙනස්කම් කෘෂිකර්මාන්තයට බලපෑම් කළ හැකි බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කර වගා කටයුතු පූර්ව සැලසුම් කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

පොහොර සහ බීජ වී ප්‍රමාණවත්

ඉදිරි මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ප්‍රමාණවත් පොහොර තොග පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කර ඇත.

එමෙන්ම රටේ අවශ්‍යතාවයට සරිලන බීජ වී ප්‍රමාණයක් දැනට පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ අටක වී වගාවක් සිදුකිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.

නිසි වේලාවට වගා කටයුතු ආරම්භ කිරීමට උපදෙස්

තාක්ෂණික නිර්දේශවලට අනුකූලව නිසි වේලාවට වගා කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වාදී ඇති තාක්ෂණික පැකේජ අනුගමනය කිරීමට ගොවීන් දිරිගැන්වීම සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

අවසන් තීරණය සැප්තැම්බර් 18දා

2026/27 මහ කන්නයේ වගා කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජල කළමනාකරණ ලේකම් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක නිලධාරීහු ඊට සහභාගී වූහ.

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කර ඇත්තේ මෙය පූර්ව සාකච්ඡාවක් පමණක් බවයි.

අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය සැප්තැම්බර් 18 වැනිදා ගන්නෝරුවේදී පැවැත්වීමට නියමිත අවසන් සාකච්ඡාවේදී ගැනීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button