කාලගුණය

වියළි කාලගුණයෙන් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට

වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35කට අයත් ජනතාව මෙලෙස පීඩාවට පත්ව ඇති බව අද (05) නිකුත් කළ වාර්තාවල දැක්වේ.

පීඩාවට පත් ජනතාව අතරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක පවුල් 34,608කට අයත් පුද්ගලයින් 113,354 දෙනෙකු සඳහා මේ වනවිට පානීය ජලය බෙදාදීම සිදුකරමින් පවතී.

මොණරාගලට වැඩිම බලපෑම

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයටය. එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 12,732කට අයත් පුද්ගලයින් 41,360 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පුද්ගලයින් 33,394 දෙනෙකුටත්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පුද්ගලයින් 20,418 දෙනෙකුටත් පානීය ජලය සපයමින් සිටී.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක පුද්ගලයින් 11,995 දෙනෙකු සඳහාද පානීය ජලය ලබාදීම සිදුකෙරේ.

දිස්ත්‍රික්ක කිහිපයකටත් ජලය බෙදාදීම

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වියළි කාලගුණයෙන් පුද්ගලයින් 6,842 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඉන් 5,562 දෙනෙකුට පානීය ජලය ලබාදෙමින් පවතී.

රත්නපුර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් 1,374 දෙනාගෙන් 474 දෙනෙකු සඳහාද පානීය ජලය බෙදා හැරීමට කටයුතු කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක පවුල් 30කට අයත් පුද්ගලයින් 151 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, එම සියලු දෙනාටම පානීය ජලය ලබාදීමට කටයුතු යොදා තිබේ.

පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම මෙන්ම පානීය ජලය අඛණ්ඩව සැපයීම සඳහා ආපදා කළමනාකරණ අංශ මේ වනවිටත් සක්‍රියව කටයුතු කරමින් සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button