
පහළ මල්වතුඔය ව්‍යාපෘතිය 2030ට පෙර ජනතා අයිතියට
පහළ මල්වතුඔය ව්‍යාපෘතිය 2030ට පෙර ජනතා අයිතියට
ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව සම්බන්ධ කර ගැනීම සඳහා වාරි පද්ධති සංවර්ධනය කිරීම වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ අනුව රජරට මහා වාරි පද්ධතියට එක් කිරීමට නියමිත පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජනාධිපතිවරයා පසුගියදා ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව එහිදී හඳුනාගත් ගැටලු පිළිබඳව අදාළ සියලු පාර්ශ්ව සමඟ වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
2026 වසරට රුපියල් මිලියන 5,000ක්
මීට වසර 10කට පමණ පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ප්‍රතිපාදන හිඟය හේතුවෙන් අතරමග නතර වී තිබූ අතර, එය නැවත ආරම්භ කිරීම සඳහා 2026 වසරට රුපියල් මිලියන 5,000ක අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
පහළ මල්වතුඔය ව්‍යාපෘතිය 2029-2030 වනවිට සම්පූර්ණයෙන් අවසන් කර ජනතා අයිතියට පත් කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව මෙහිදී අවධාරණය කර ඇත.
අක්කර 40,000කට වාරි ජල පහසුකම්
මල්වතුඔය පහළ නිම්නයේ පවතින ජල හිඟයට විසඳුම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ පවතින අක්කර 40,000ක පමණ කුඹුරු ඉඩම් යල සහ මහ කන්න දෙකේදීම වගා කිරීමට අවශ්‍ය ජල පහසුකම් සැලසීම මගින් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමටද අපේක්ෂා කෙරේ.
එමෙන්ම තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, පානීය ජලය සැපයීම, ජලවිදුලිය නිෂ්පාදනය සහ ගංවතුර පාලනයද ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.
සංචාරක සහ ධීවර කර්මාන්තයටත් අවස්ථා
ජලාශය ඉදිකිරීමෙන් ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට මෙන්ම ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටද හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වනඅලි ගැටලුව කළමනාකරණය කිරීම සඳහාද ව්‍යාපෘතිය යටතේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
නැවත පදිංචි කරන ජනතාව ගැනත් අවධානය
ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම සහ එමගින් අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කර ඇත.
නැවත පදිංචි කරන ජනතාවට පෙර පැවති තත්ත්වයට වඩා යහපත් ජීවන තත්ත්වයක් ලබාදීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
නවීන කෘෂිකාර්මික ව්‍යාපෘති හඳුන්වාදීම මෙන්ම පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසැල් ජාල සහ අපනයන සමාගම් සමඟ මිලදී ගැනීමේ ගිවිසුම් ඇති කර ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළෙඳපොළක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.
අලි වැටක් ඉදිකිරීමට සැලසුම්
වනජීවී දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව අලි වැටක් ඉදිකර නඩත්තු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.
එමෙන්ම දිගුකාලීන ජීව විද්‍යාත්මක විසඳුමක් ලෙස තල් වැට වැනි ස්වභාවික වැටවල් ස්ථාපනය කිරීමේ යෝජනාවක්ද පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ විසින් ඉදිරිපත් කර ඇත.
කුඩා විලච්චිය වැවත් යළි ආරම්භ කිරීමට අවධානය
පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් නතර වූ කුඩා විලච්චිය වැව ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවද අවධානය යොමු කර ඇත.
පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් බව පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සඳහන් කළහ.
ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගන්නා උත්සාහය අගය කරන බවත්, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් තැබිය හැකි තීන්දු රැසකට එළඹීම පිළිබඳව සතුටු වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.



