
අල්ලස් කොමිසම හමුවට ගිය රවී කරුණානායක අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (31) කටයුතු කර තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමෙන් රජයට පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව මන්ත්‍රීවරයා අද කොමිසම හමුවේ පෙනී සිටියේය.
මීට පෙරත් කොමිසමෙන් කැඳවීමක්
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මීට පෙර කොමිසම හමුවට පැමිණෙන ලෙස රවී කරුණානායක මහතාට දැනුම් දී තිබිණි.
කෙසේවෙතත්, එම අවස්ථාවේදී ඔහු කොමිසම හමුවේ පෙනී සිට නොමැති අතර, පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසටද ගොස් තිබේ.
දියණියගේ විවාහය හේතුවෙන් වෙනත් දිනයක් ඉල්ලා තිබුණා
එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ නොසිටි බව සඳහන් වේ.
තම දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ලබාදුන් දැනුම්දීමට අනුව අද කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව රවී කරුණානායක අත්අඩංගුවට ගෙන තිබේ.



