ප්‍රධාන පුවත්

රේගුව භාරයේ තිබූ වාහන 437ක් දිරාපත් වෙයි

රේගුව භාරයේ තිබූ වාහන 437ක් වසර 8ක් පුරා දිරාපත් වෙලා

රේගුව භාරයට ගෙන වසර 8ක් පුරා රඳවා තිබූ වාහන 437කින් බහුතරයක් මේ වනවිට දිරාපත්ව භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.

පසුගිය 2025 වසරට අදාළ රේගු වාර්ෂික කාර්යසාධන වාර්තාවේ මේ සම්බන්ධයෙන් කරුණු හෙළි කර ඇති අතර, මට්ටක්කුලිය සහ රුහුණුපුර වරාය භූමියේ රඳවා තිබූ වාහන රැසක් මෙලෙස විනාශ වී ඇති බව එහි සඳහන් වේ.

ඒ අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකින් ලබාගත් ඉඩමක රේගු භාරයට ගත් වාහන 329ක් රඳවා තිබී ඇති අතර, රුහුණුපුර වරාය භූමියේ තවත් වාහන 108ක් ගාල් කර තිබී ඇත.

අදාළ වාහන දිගු කාලයක් අංගනවල ගාල් කර තැබීම හේතුවෙන් ඒවායින් බහුතරයක් මේ වනවිට දිරාපත්ව ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් වාහන වෙන්දේසි කිරීමෙන් පවා සාධාරණ ආදායමක් උපයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

රේගුව භාරයේ තිබූ වාහන සම්බන්ධයෙන් රේගු ආඥා පනතේ 109 වැනි වගන්තිය ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද විගණන වාර්තාව අනාවරණය කර ඇත.

මේ අතර ආනයනය කළ වාහන 5කට අදාළව අපනයන රේගු සටහන්කරයේ සඳහන් CIF වටිනාකමට වඩා අඩු වටිනාකමක් සහිත ඉන්වොයිස් ඉදිරිපත් කර තිබේ.

එමගින් එම වාහනවල මුළු වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 97,510කින් අඩුවෙන් ප්‍රකාශ කර රේගුවෙන් නිෂ්කාශනය කරගෙන ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.

අදාළ වාහන 5 සඳහා අපනයන රේගු සටහන්කරයේ සඳහන් CIF වටිනාකම සැලකිල්ලට ගැනීමේදී ආසන්න වශයෙන් රුපියල් 16,200,813ක වටිනාකමක් බදු පදනමට ඇතුළත් වී නොමැති බව විගණන වාර්තාව සඳහන් කරයි.

ඒ හේතුවෙන් රජයට අහිමිවී ඇති බදු ආදායම ආසන්න වශයෙන් රුපියල් 26,701,747ක් බවද එම වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

තවද මෙරටට වැඩි වශයෙන් ආනයනය කරන වාහන වර්ග 4කට අදාළව ජපානයේ පැවති වෙන්දේසිවල මිල ගණන් පරීක්ෂා කර ඇති බව සඳහන් වේ.

2025 වසරේ ආනයනය කළ වාහන නියැදියකට ඉතා ආසන්න කාලයකදී ජපානයේ වෙන්දේසි කර තිබූ එම වාහනවල මිල ගණන් සමඟ සැසඳීමේදී, ආනයනකරුවන් අඩු මිල ගණන් යටතේ එම වාහන රේගුවෙන් නිෂ්කාශනය කරගෙන ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

එම පරීක්ෂාවට ලක් කළ වාහන 29ක් නිෂ්කාශනය කිරීමේදී පමණක් ආසන්න වශයෙන් රුපියල් 88,758,285ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බවද අදාළ විගණන වාර්තාව වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button