
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පෙත්සම් හෙටින් අවසන්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමට ලබාදී ඇති කාලසීමාව හෙට (31) දිනයෙන් අවසන් වීමට නියමිතය.
මේ වනවිට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් පනත් කෙටුම්පත පසුගිය 18 වනදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් විසින් මේ වනවිට විරෝධය පළ කරමින් පෙත්සම් ගොනුකර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීතිඥ සංගම් කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක්ද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය පළ කරමින් පෙත්සම් ගොනුකර ඇති බව වාර්තා වේ.
මේ අතර, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනුකර ඇති සියලුම පාර්ශ්වකරුවන් විසින් හෙට දිනයේදී විශේෂ මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
“හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනවා සියලුම පෙත්සම්කරුවන්. සියලුම පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මේ ප්රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් තීරණය කරන්න බෑ. ඒ මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට කෙලින්ම මේකෙන් වාසියක් ලැබෙනවා. තමන්ගේ නඩුව තමන්ට අහන්න බැරිය කියන මූලික සිද්ධාන්තයම මේකෙන් අමු අමුවේ උල්ලංඝනය වෙනවා. ඒ නිසා මේක ජනතාවට යොමු කරන්න ජනතා අධිකරණයට. මේ රටේ පරමාධිපත්‍ය තියෙන්නේ ශ්‍රී ලංකා ජනතාවට. ඒ නිසා ජනමත විචාරණයක් පවත්වන්න. මේක කරන්නද නැද්ද කියලා ශ්‍රී ලංකා ජනතාවගෙන් අහන්න”
ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය හෙටින් අවසන් වන අතර, එම සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඉදිරි කටයුතු සිදුවීමට නියමිතය.



