
අපරාධවලට එරෙහිව ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පාර්ලිමේන්තුවට පැමිණ, විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ විවාදයට එක්වෙමින් අදහස් පළ කළේය.
එහිදී දූෂණය, සංවිධානාත්මක අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සමඟ සම්බන්ධ දේශපාලන බලවේග මැඩපැවැත්වීම සඳහා රට තුළ නීතිමය හා ආයතනික ක්‍රමවේද පවතින බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එහෙත් එම ක්‍රියාමාර්ගවලට එරෙහිව අද වනවිට විපක්ෂය පෙනී සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
අපරාධ විමර්ශන කටයුතුවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඔහුද විපක්ෂයේ විවේචනයට ලක්ව ඇති බව පැවසීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන දිලීප පීරිස් මහතා සහ අධිකරණයද විපක්ෂයේ විවේචනයට ලක්වන ආයතන සහ පුද්ගලයන් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
“අද වෙද්දි සාධාරණය, යුක්තිය, ප්රජාතන්ත්රවාදය හා යහපාලනය විපක්ෂයට ඔරොත්තු දෙන්නේ නෑ.. රාජ්‍ය ඇතුළේ සිට රාජ්‍ය අනුග්‍රහය ලබමින් අපරාධ කර ඇත්නම් අපරාධකරුවන් හෙළි කළ යුතු නැද්ද ? එය රට පාවාදීමක් ද ? එය දේශද්රෝහීවීමක් ද ? නෑ ඒ ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බවට පරිවර්ථනය කළ යුතුයි.”
“අපේ රට තිබුණේ අශිෂ්ට රාජ්‍යයක්. අපේ හමුදාවන්, බුද්ධි අංශ කෙරෙහි ගෞරවය, ඇගයීම, හෘදයාංගභාවය අපි තුළ තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉටුකර ඇති කැපකිරීම්වලට, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතැනක හෝ ඔවුන් පීඩවට පත්වෙන්නේ නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා…දේශීයවත්, ජාත්‍යන්තරවත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාවන් වෙනුවෙන් හමුදාවන් හා බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඔවුන් ඔ්නෑම තැනක ආරක්ෂා කරන්නත් ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා. අපි ඒ කාර්ය කරනවා.”
“හැබැයි හමුදාවේ හෝ බුද්ධි අංශයේ කුඩා කණ්ඩායම් රාජ්‍ය උවමනාවකට, යම් පවුලක බලය වෙනුවෙන්, දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් යම් කාරණා ඉටුකර ඇත්නම් ඒ සඳහා නිසි දඬුවම් ලබාදෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නෑ..”
“තමන්ගේ බලය පවුලක සහ තමන්ගේ දේශපාලන කඳවුරක බලය වෙුනවෙන් කරන ලද අපරාධ තාජුඩීනුත් එහෙමයි, පාස්කු ප්‍රහාරයත් එහෙමයි… මේ ඔක්කෝම පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රණයක මෙහෙයුම්කරුවන් හිටියා. මේක හෙළිදරව් කරන්න ඔ්නේ නැද්ද රටට. රටේ සුදුවෑන් බියක් තිබුණේ නැද්ද ? අංක තහඩු නැති සුදු වෑන්වලින් තමන්ගේ වත්තේ ගේ කඩනවාට විරුද්ධ වුණ මිනිහාව පැහැරගත්තා. මේවා සිවිල් ගැටුම් නෙමෙයි. කුඩා කණ්ඩායමක් තමන්ගේ දේශපාලන උවමනාවෙන් යෙදවලා මේ මිලේච්ඡ ඝාතනයන් කරලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මිලේච්ඡ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා.”
මෙවැනි අපරාධ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට එරෙහිව සිටිය හැක්කේ ඒවායින් වාසි ලබාගත් පිරිස් පමණක් බවද ජනාධිපතිවරයා පැවසීය. එසේම පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට බලපෑම් හෝ තර්ජන එල්ල වුවහොත් රජය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවත්, ජනතාවද එම නිලධාරීන්ට සහයෝගය ලබාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



