
නේපාලයේ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
ගංවතුරින් විපතට පත් නේපාලයේ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ගෙන් සමන්විත සහන කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ නේපාලයට යැවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නේපාලයේ පවතින අවශ්‍යතා අනුව ශ්‍රී ලංකාවෙන් යැවිය යුතු සහන කණ්ඩායම් පිළිබඳව මේ වනවිට සැලසුම් කරමින් සිටින බවයි.
එම සහන කණ්ඩායම් සඳහා යොමු කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව හෝ ඔවුන්ගෙන් සමන්විත වන සහන කණ්ඩායම්වල ස්වභාවය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවසීය.
නේපාලයට බලපෑ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර ඇති බවත්, ශ්‍රී ලංකා රජය මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක සහනාධාරයක් ලබාදීම සඳහා මූලික කටයුතු සිදුකරමින් සිටින බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ආපදා කළමනාකරණ සහන මධ්‍යස්ථානය එක්ව නේපාලයට අවශ්‍ය සහන ලබාදීම සඳහා කණ්ඩායම් යොමු කරන ආකාරය පිළිබඳව සැලසුම් සකස් කරමින් සිටින බවද ඔහු පැවසීය.
දකුණු ආසියානු රටක් ලෙස නේපාලයේ ආපදා තත්ත්වයට සංවේදීව ප්‍රතිචාර දක්වමින් ඉදිරි දින කිහිපය තුළ සහන කණ්ඩායම් යැවීමට අවශ්‍ය කටයුතු රජයක් ලෙස සම්පාදනය කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



