ප්‍රධාන පුවත්

පොලිස් සේවයට අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය

පොලිස් සේවයේ පවතින මානව සම්පත් හිඟයට විසඳුමක් ලෙස නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

අද (29) පැවැති ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

පොලිස් සේවය සඳහා අවශ්‍ය මානව සම්පත් මෙන්ම නිලධාරීන්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයා සහ අදාළ අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම බඳවා ගැනීම් සඳහා අවසරය හිමිවූ බව ඔහු පැවසීය.

මේ වන විට පොලිස් සේවය තුළ නිලධාරීන් 38,000ක පමණ හිඟයක් පවතින බවත්, එම හිඟය සහිතව පොලිස් සේවාව පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.

එමෙන්ම වසරකට ආසන්න වශයෙන් පොලිස් නිලධාරීන් 2,000කට වැඩි පිරිසක් විශ්‍රාම යාම ඇතුළු විවිධ හේතූන් මත සේවයෙන් ඉවත්වන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මෙසේ පැවසීය.

“අපිට අවශ්‍ය මානව සම්පත් අවශ්‍ය ප්‍රමාණයට නැතිකම, නිලධාරීන්ට අවශ්‍ය ප්‍රමාණවත් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධව ජනාධිපතිතුමාට, අමාත්‍යතුමාට දැනුම්දුන්නාට පස්සේ මානව සම්පත් වැඩි කරන්න අපිට 10,000ක් බඳවා ගන්න අවසරයක් ලැබුණා. මොකද අපි බඳවා ගත්තේ නැත්නම් ඒ එක්කම වයස්ගතව සහ වෙනත් කටයුතු නිසා බැහැරවන සංඛ්‍යාව අවුරුද්දකට දෙදාස් ගාණක් වෙනවා. ඒ අනුව අද වන විට 38,000ක වගේ අත්‍යවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් අඩුවෙන් තමයි මේ සේවාව පවත්වාගෙන යන්නේ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button