
පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
රජරට මහා වාරි පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.
ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා අද (29) එහි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මීට වසර 10කට පමණ පෙර ආරම්භ කළ ව්‍යාපෘතිය විවිධ හේතු මත අතරමග නතර වී තිබූ අතර, වත්මන් රජය යටතේ එය යළි ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව 2026 වසර සඳහා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක මුදලක් වෙන් කර ඇත.
සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය 2029 වසරේ අවසන් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර තිබේ.
අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්ක සම්බන්ධ කරමින් තන්තිරිමලේ බෝගොඩ ප්‍රදේශයේදී මල්වතුඔය හරස් කර මෙම ජලාශය ඉදිකෙරේ. එහි ජල ධාරිතාව අක්කර අඩි 169,400ක් වන අතර, ඉදිකිරීම් අවසන් වූ පසු එය උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත්වනු ඇත.
අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට පානීය ජලය සැපයීම, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදීම සහ මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය ඇති කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වේ.
මීට අමතරව තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන කලාපයක් ඇති කිරීම, ජල විදුලි උත්පාදනය, ගංවතුර පාලනය, සංචාරක කර්මාන්තය සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමද ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.
මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව ආශ්රිත සහල් නැළිය ප්‍රදේශයේ මහ කන්නයේ අක්කර 40,000ක් පමණ වගා කළද, යල කන්නයේ පවතින ජල හිඟය හේතුවෙන් වගා කළ හැක්කේ අක්කර 10,000කට ආසන්න ප්‍රමාණයක් පමණි. නව ජලාශය ඉදිකිරීමෙන් යල සහ මහ කන්න දෙකේදීම අක්කර 40,000ක භූමි ප්‍රමාණයක් වගා කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
නිරීක්ෂණ චාරිකාවේදී ව්‍යාපෘති නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා, ඉදිකිරීම් අතරතුර මතුව ඇති ගැටලු, අභියෝග සහ අවශ්‍යතා පිළිබඳවද කරුණු විමසා බැලීය. ජනතාවට කඩිනමින් ප්රතිලාභ ලබාදීම සඳහා ව්‍යාපෘතියේ ඉදිකිරීම් වේගවත් කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.
පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන පවුල් 315ක් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. එම පවුල් සඳහා ඉඩමක් සමඟ විදුලිය සහ පානීය ජල පහසුකම් සහිත නිවාස ලබාදීමටත්, සූර්ය බලයෙන් ක්‍රියාත්මක උස්සන වාරිමාර්ග ක්‍රම භාවිත කර සුහුරු කෘෂිකාර්මික වගාවන් සඳහා ඔවුන් යොමු කිරීමටත් උපදෙස් ලබාදී ඇත.
මේ වන විට කිලෝමීටර් 3.4ක දිගකින් යුත් ජලාශයේ ප්‍රධාන බැම්මේ ඉදිකිරීම් සියයට 60කින් පමණ අවසන් කර තිබේ. දකුණු ඉවුරු සොරොව්වේ ව්‍යූහාත්මක කොටස්ද අවසන් කර ඇති බව ව්‍යාපෘති නිලධාරීන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
එමෙන්ම පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියට අදාළ විදුලි බලාගාරයේ පහළ මල්වතුඔය ජලාශ ව්යාපෘතියඉදිකිරීම් සඳහා අත්තිවාරම් කැපීම සහ කළුගල් පිපිරවීම ඇතුළු මූලික කටයුතුද ආරම්භ කර තිබේ.
අලි වැට ඉදිකිරීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම සහ පුරාවිද්‍යා කෞතුකාගාරයක් ඉදිකිරීම ඇතුළු කටයුතුද ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට තන්තිරිමලේ රාජමහා විහාරාධිපති සහ උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේද වැඩම කර සිටියහ.
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙතරම් සමීප අවධානයක් රාජ්‍ය නායකයෙකු විසින් යොමු කළ අවස්ථාවක් මීට පෙර දක්නට නොලැබුණු බව සඳහන් කළ උන්වහන්සේ, ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම ජනාධිපතිවරයා ලබාදෙන මඟපෙන්වීම සහ දායකත්වය අගය කරමින් ඉදිරි කටයුතු සඳහා ආශිර්වාදය පළ කළහ.



