
ලේබල් ගැටලුවකින් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල සිරවෙයි
ලේබල් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති පරිපාලනමය ගැටලුවක් හේතුවෙන් පිළිකා එන්නත් 160,000ක තොගයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවල රඳවා ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ වෛද්‍ය සැපයුම් අංශය (MSD) අතර පවතින සම්බන්ධීකරණ දෝෂයක් මෙම තත්ත්වයට හේතුවී ඇති බව එම සන්ධානය සඳහන් කරයි.
අදාළ පිළිකා එන්නත් අඩංගු පෙට්ටියේ අවශ්‍ය සියලු තොරතුරු මෙන්ම සිලින්ජරයේ ඉදිරිපස නිවැරදි ලේබලය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු නිවැරදිව සඳහන්ව තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, සිලින්ජරයේ පිටුපස ලේබලය සම්බන්ධයෙන් පවතින පරිපාලනමය ගැටලුවක් හේතුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකය එම තොගය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
රුපියල් 900ක් පමණ වටිනාකමක් ඇති මෙම එන්නත මේ වනවිට කළුකඩ වෙළෙඳපොළේ රුපියල් 25,000කට වැඩි මිලකට අලෙවි වන බවත්, එම මිලට පවා එය සොයා ගැනීම අපහසු බවත් සඳහන්ය.
කීමෝතෙරපි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා මසකට රෝගීන් 25,000කට ආසන්න පිරිසකට මෙම එන්නත් අවශ්‍ය වන බවද වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.
ලේබල් කිරීම සඳහා දැනට ගබඩා කර ඇති එන්නත් තොගය යළි නිෂ්පාදකයා වෙත යැවීමට සිදුවුවහොත්, එම තොගය නැවත මෙරටට ගෙන්වා ගැනීමට අවම වශයෙන් මාස තුනක කාලයක් ගතවනු ඇති බවද ඔවුන් පවසයි.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඉදිරි මාස තුන තුළ පිළිකා රෝගීන් 75,000කට පමණ දැඩි ජීවිත අවදානමකට මුහුණදීමට සිදුවිය හැකි බවටද අනතුරු අඟවා තිබේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කඩිනම් මැදිහත්වීම අවශ්‍ය බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, පිළිකා රෝග විශේෂඥයන් සහ රුධිර රෝග විශේෂඥයන් එක්කර හදිසි සාකච්ඡාවක් පවත්වා මෙම පිළිකා එන්නත් තොගය රෝගීන්ට ලබාදීමට කඩිනම් පියවර ගත යුතු බවත් එම සන්ධානය අවධාරණය කරයි.



