
දුම්රිය සේවකයින්ට රාජකාරී වේලාවේ සමාජ මාධ්‍ය තහනමක්
දුම්රිය සේවකයින් හට රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය මෙන්ම දුම්රිය මෙහෙයුම්වලට අදාළ සංවේදී තොරතුරු සමාජගත කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දුම්රිය සේවකයින් සහ ඇතැම් නිලධාරීන් රාජකාරී වේලාවන්හිදී මෙන්ම රාජකාරියට සම්බන්ධ අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන බවට නිරීක්ෂණය වීම මෙම පියවරට හේතු වී ඇත.
එවැනි තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමෙන් දුම්රිය සේවයේ විශ්වසනීයත්වයට, මගී ආරක්ෂාවට සහ ආයතනික විනයට බරපතළ බලපෑම් එල්ල විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
නව චක්‍රලේඛය අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබාදීමේ අවසරය හිමිවන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියාට පමණි.
එමෙන්ම චක්‍රලේඛයේ සඳහන් උපදෙස් නොතකා කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් නිකුත් කළ අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.





