
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායවල් 20 අතරට
කොළඹ වරාය 2026 වසරේ පළමු මාස හය තුළ බහාලුම් මෙහෙයුම්වල 11.9%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් ලොව ප්‍රමුඛතම බහාලුම් වරායවල් 20 අතරට පැමිණීමට සමත්ව තිබේ.
ජාත්‍යන්තර Alphaliner වාර්තාවලට අනුව, 2025 වසර අවසානයේදී ලෝක බහාලුම් වරාය ශ්‍රේණිගත කිරීම්වල 26 වැනි ස්ථානයේ පසුවූ කොළඹ වරාය, මේ වනවිට සැලකිය යුතු ඉදිරිගාමී වර්ධනයක් අත්කරගෙන ඇත.
2026 ජනවාරි සිට ජුනි දක්වා මාස හයක කාලය තුළ කොළඹ වරාය මගින් මෙහෙයවා ඇති සමස්ත බහාලුම් ප්‍රමාණය 4,444,034ක් වන අතර එය මිලියන 4.4කට අධිකය.
2025 වසරේ එම කාලසීමාවේදී මෙහෙයවා තිබූ බහාලුම් ප්‍රමාණය 3,972,053ක් වූ අතර, ඒ අනුව මෙම වසරේදී බහාලුම් 471,981කින් හෙවත් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයකින් මෙහෙයුම් ඉහළ ගොස් තිබේ.
මේ අනුව 2025 වසරේදී වාර්තා කළ සමස්ත බහාලුම් මිලියන 8.3ක මෙහෙයුම් ප්‍රමාණය අභිබවා යාමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය විශ්වාසය පළ කරයි.
නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ යුරෝපය සම්බන්ධ කරන ප්‍රධාන නෞකා මාර්ග අතර මධ්‍යස්ථ ස්ථානයක පිහිටි කොළඹ වරාය, ඉන්දියන් සාගරයේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වේ.
එමෙන්ම 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ බහාලුම් මිලියන 2.915ක් මෙහෙයවා ඇති අතර, එම කාලය තුළ 13.9%ක වර්ධනයක්ද වාර්තා කර තිබේ.
වර්ධනය වන බහාලුම් ධාරිතාවට ගැළපෙන පරිදි යටිතල පහසුකම් සහ නවීන තාක්ෂණය වැඩිදියුණු කරමින් මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
ඉදිරි වසර 1ත් 3ත් අතර කාලය තුළ වරාය ක්ෂේත්රය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න ආයෝජන ලබාගැනීමටද සැලසුම් කර ඇති බව අධිකාරිය වැඩිදුරටත් පවසයි.



