ප්‍රධාන පුවත්

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ

2026 වසරට අදාළ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් අද (25) ආරම්භ කර තිබේ.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී මෙම බලපත්‍ර පිරිනැමීමේ වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ මෙම අවස්ථාව බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාත්‍යන්තර බලශක්ති සමාගම් වෙත ගවේෂණ කටයුතු සඳහා අවස්ථාව ලබාදෙමින් මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි බිම් කොටස් හතරක් බලපත්‍ර සඳහා පිරිනැමීමට නියමිතය.

මීට පෙර සිදුකළ ගවේෂණවලදී ස්වාභාවික වායු සහ ද්‍රව හඳුනාගෙන ඇති බැවින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් පවතින බවට තහවුරු වී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම ද්‍රෝණියේ සාපේක්ෂව විශාල ප්‍රදේශයක් මේ දක්වා ගවේෂණයට ලක් නොවීම හේතුවෙන් නවීන භූ ගවේෂණ හා තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් වැඩිදුර දත්ත රැස් කිරීමට ජාත්‍යන්තර සමාගම්වලට අවස්ථාව හිමිවන බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නීල් ද සිල්වා මහතා පැවසීය.

අධිකාරිය සතුව පවතින මන්නාරම් ද්‍රෝණියට අදාළ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනය කිරීමට ද එම සමාගම්වලට අවස්ථාව ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

දැනට පවතින දත්ත අනුව මන්නාරම් ද්‍රෝණියෙන් ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් පමණ සහ ස්වාභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක් පමණ ලබාගැනීමේ හැකියාවක් ඇතැයි අනුමාන කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button