
එල් නිනෝ හමුවේ ආහාර මිල සහ සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්
ගෝලීය එල් නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුමට සහ මිල ගණන්වලට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ පෙර සූදානම් වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්විණි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.
මෙහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සතුව පවතින තොග පිළිබඳව තොරතුරු ලබාගත් අතර, ශ්‍රී ලංකා රේගුව සතු ආනයන දත්තද සමාලෝචනය කර තිබේ.
පරිප්පු, අර්තාපල්, ලූණු, කරවල සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් ලෙස පවත්වාගෙන යාම සහ මිල ගණන් ස්ථාවරව තබා ගැනීම සම්බන්ධයෙන් ආනයනකරුවන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
එමෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයන් හෝ මිල ඉහළ යාම් පාලනය කිරීම සඳහා වෙළෙඳපොළ තත්ත්වයන් සහ කාලගුණික වෙනස්කම් අඛණ්ඩව නිරීක්ෂණය කිරීමටද මෙහිදී අවධානය යොමු වී තිබේ.
ඒ අනුව අවශ්‍යතාව මත කඩිනම් තීන්දු සහ ක්‍රියාමාර්ග ගැනීමට එකඟතාව පළ වූ බව සඳහන් වේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහභාගී වූ මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්භාව සහ ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.



