
ඩෙංගු මර්දනය සඳහා නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක්
ඩෙංගු මර්දනය සඳහා ජනතාවගේ සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක් හෙට (21) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ප්‍රජා බලකරණය සඳහා වෙනසක් ඇති කිරීමේ සන්නිවේදන මූලධර්ම භාවිත කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
ඩෙංගු මර්දන වැඩසටහන් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවගේ චර්යා වෙනසක් ඇති කළ හැකි නව ක්‍රමවේද හඳුනාගැනීම මෙහි ප්‍රධාන අරමුණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, චර්යා වෙනසක් ඇති කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණයක්ද මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 9.00ට බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම අවස්ථාවට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.
ඩෙංගු මර්දනයේදී රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් සමඟ ජනතාවගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බැවින්, මෙම නියමු ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රජාව වඩාත් සක්‍රීයව ඩෙංගු මර්දන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කෙරේ.



