උණුසුම් පුවත්

ශෂී වීරවංශ පෙර ඇප මත මුදාහරී

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටි ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ. එම අවස්ථාවේදී ශෂී වීරවංශ මහත්මියද අධිකරණයේ පෙනී සිටියාය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ආගමන හා විගමන පනත යටතේ වූ චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුව 2022 වසරේදී ඇයට වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබූ බවයි.

එම තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ බවද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මහාධිකරණ තීන්දුවට එරෙහිව තම සේවාදායිකාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

එම අභියාචනය ලබන මස කරුණු තහවුරු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බැවින්, එතෙක් ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, මහාධිකරණ තීන්දුවට එරෙහිව දින 42ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකාරියට හිමි අයිතිය අනුව ඇය එම අභියාචනය ඉදිරිපත් කර ඇති බව සලකා, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමේ කොන්දේසියට යටත්ව ඇය පෙර ඇප මත මුදාහැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අදාළ නඩුව යළි සැප්තැම්බර් 27 වැනිදා කැඳවීමටද අධිකරණය නියම කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button