
එල්නිනෝ තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පවසයි.
අද (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සමේ කුෂ්ඨ ඇතිවීම, මස්පිඩු පෙරළීම මෙන්ම අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ජීවිත හානි පවා සිදුවිය හැකි බව වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.
කුඩා දරුවන්, වැඩිහිටියන්, බෝ නොවන රෝග සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින් මෙම තත්ත්වයෙන් වැඩි අවදානමකට ලක්වන කාණ්ඩ ලෙස හඳුනාගත හැකි බවද ඇය පැවසීය.
එමෙන්ම එළිමහන් ස්ථානවල රැකියාවල නිරත වන පුද්ගලයින් සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිස් ද අධික උෂ්ණත්වය හේතුවෙන් දැඩි අවදානමකට ලක්විය හැකි බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය සඳහන් කළාය.
මෙම සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීම සඳහා පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් හැකිතාක් වැළකී සිටීම වැදගත් බවද ඇය අවධාරණය කළාය.
“සම වියළීමක් වෙන්න පුළුවන් මේකට වතුර පුළුවන් තරම් බොන්න ඕනි. වතුර බීම තුළින් ඒ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. ප්‍රමිතිගත ආලේපන වර්ග භාවිතා කරන්න පුළුවන්. එතුළින් මේ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. උණු කරපු සිසිල් පැන්භාවිතා කරන්න. සිසිල් කියන්නේ ශීත කරපු වතුර කියන එකම නෙවෙයි.”
ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, ලා පැහැති ඇඳුම් ඇඳීම සහ හිස ආවරණය කිරීම මෙන්ම විශේෂයෙන්ම නිදන්ගත රෝග සහිත පුද්ගලයින් තම ඖෂධ නිසි මාත්‍රාවට භාවිත කිරීමද ඉතා වැදගත් බව වෛද්‍යවරිය පැවසීය.
එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි සෞඛ්‍ය බලපෑම් කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු ආයතන සමඟ එක්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව මේ වනවිටත් අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසීය.
පාසල් අවසන් වී නිවෙස් බලා යන අවස්ථාවේදී දරුවන් හිස් ආවරණයක් හෝ කුඩයක් භාවිත කිරීම, අනවශ්‍ය ලෙස එළිමහනේ ක්‍රීඩා කිරීම අවම කිරීම සහ හැකිතාක් සෙවණ සහිත ස්ථානවල රැඳී සිටීම වැදගත් බවද ඇය අවධාරණය කළාය.



