සෞඛ්‍යය

පාසල් නිවාඩු සමයේ දරුවන් ගැන අවදානයෙන් සිටින්න

පාසල් නිවාඩු සමයේ දරුවන් අතර සරුංගල් යැවීම වැඩි වී ඇති බැවින්, සරුංගල් අනතුරු වළක්වා ගැනීමට විශේෂ අවධානයක් යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී.

වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මේ දිනවල සරුංගල් යැවීම දරුවන් අතර ජනප්‍රිය වී ඇති අතර, නොසැලකිලිමත් ලෙස එම ක්‍රියාකාරකමේ නිරත වීමෙන් බරපතළ තුවාල මෙන්ම ජීවිත අවදානම්ද ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී ඇදවැටීම් සිදුවිය හැකි අතර, දරුවන් කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීමේදී එකිනෙකා ගැටීම හෝ වැටීම හේතුවෙන්ද අනතුරු ඇතිවිය හැකි බව වෛද්‍යවරයා සඳහන් කරයි.

විශේෂයෙන් අධිබලැති විදුලි රැහැන් ආසන්නයේ සරුංගල් යැවීම ඉතා අවදානම් ක්‍රියාවක් බව ඔහු අවධාරණය කරයි. සරුංගල් නූල් විදුලි රැහැන්වල ගැටීමෙන් විදුලි ධාරාව නූල ඔස්සේ පුද්ගලයා වෙත සම්ප්‍රේෂණය විය හැකි බවද සඳහන් වේ.

එවැනි විදුලි සැර වැදීම් හේතුවෙන් අත්, බාහු සහ පපු ප්‍රදේශයේ ශරීර පටක, රුධිර වාහිනී සහ ස්නායුවලට දැඩි හානි සිදුවිය හැකි අතර, ඇතැම් අවස්ථාවල හානි වූ ශරීරාංග ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට පවා සිදුවිය හැකි බව වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසයි.

විදුලි සන්නායකතාව ඇති නූල් අධිබලැති විදුලි රැහැන් සමඟ ගැටීමෙන් ක්ෂණිකව ජීවිත හානි පවා සිදුවිය හැකි බැවින්, එවැනි ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් දරුවන් වළක්වා ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවද වැදගත් බැවින්, පාසල් නිවාඩු සමයේ සරුංගල් යැවීමේදී ඇතිවිය හැකි අවදානම් පිළිබඳව දරුවන් දැනුවත් කර ආරක්ෂිත ස්ථාන පමණක් තෝරාගැනීමට වගබලා ගන්නා ලෙසද සෞඛ්‍ය අංශය ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button