
විනිසුරු විශ්‍රාම වයස ගැන දිනන දකුණෙන් අදහස
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන ඇති උත්සාහය, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට විධායකයට අවස්ථාවක් සලසන ක්‍රියාමාර්ගයක් බව ‘දිනන දකුණ සාමූහිකය’ පවසයි.
අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් ගැනීමට නොහැකි බව පෙන්වා දෙන එම සාමූහිකය, විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ අධිකරණ කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අතර ජනාධිපතිවරයා ඉදිරිපත් කරන සම්බන්ධතාවයේ තාර්කික පදනමක් නොමැති බවද සඳහන් කරයි.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පළ කළ අදහස් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් දිනන දකුණ සාමූහිකය අද (14) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් මේ බව සඳහන් කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සහ අධිකරණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන තර්ක ප්‍රමාණවත් ගැඹුරකින් යුක්ත නොවන බවද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම අදාළ සාකච්ඡාවේදී පළ වූ අදහස් ඒකපාර්ශ්විකව සමාජගත කිරීම ජනාධිපතිවරයාගේ තවත් අත්තනෝමතික ක්‍රියාවක් ලෙස තමන් දකින බවද සාමූහිකය පවසයි.
ජනතා පරමාධිපත්‍යයේ අත්‍යවශ්‍ය අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් අවදානම් ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බවද ඔවුන් අවධාරණය කර තිබේ.
විධායකයට සමාජීය හා ආර්ථික සංවර්ධන කටයුතුවලදී දේශපාලන අවදානම් ගැනීමට හැකි වුවද, අධිකරණයේ ස්වාධීනත්වය පරදුවට තබමින් විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුවටම බලපෑමක් එල්ල කළ හැකි බවද දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙයි.



