කාලගුණය

එල්නිනෝ තත්ත්වය ලබන අප්‍රේල් දක්වා

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී දිවයිනේ වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් බලපෑමට ලක්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ ගොස් තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ, පවතින වියළි කාලගුණික තත්ත්වය අවසන් වී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක්කේ එළඹෙන ඔක්තෝබර් මාසයේදී පමණක් බවයි.

විශේෂයෙන් නැගෙනහිර පළාතේ මෙන්ම මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.

එම ප්‍රදේශවල ජනතාව එළිමහනේ ගැවසෙන විට සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම, විටින් විට විවේක ගැනීම සහ හැකිතාක් ජලය පානය කිරීම වැදගත් බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. රෝගී පුද්ගලයින් සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද උපදෙස් ලබාදී තිබේ.

දිවයින හරහා මේ වනවිට නිරිතදිග මෝසම ක්‍රියාත්මක වන අතර, අද (13) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයකත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ සමස්තයක් ලෙස වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 30-40 පමණ වේගයකින් තරමක තද සුළං ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සැප්තැම්බර් මාසය දක්වා තවදුරටත් වියළි කාලගුණයක් අපේක්ෂා කෙරේ.

මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් කාලය තුළ මෙම ප්‍රදේශවලට වර්ෂාව අඩුවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් එය තවදුරටත් තීව්‍ර විය හැකි බව සඳහන් වේ.

එල්නිනෝ තත්ත්වයේ බලපෑම පිළිබඳව පැහැදිලි කරමින් මෙරිල් මෙන්ඩිස් මහතා මෙසේ අදහස් දැක්වීය,

“මේ වසරේ අපට තවම එල්නිනෝ තත්ත්වයේ උපරිම බලපෑමක් දැකගන්නට නැහැ. අගෝස්තු මාසයත් සමඟ එහි වර්ධනය අපට නිරීක්ෂණය කළ හැකියි. කෙසේ වෙතත්, නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වන විට මෙම එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට වර්ධනය වීමට 80%කට වඩා වැඩි සම්භාවිතාවක් තිබෙනවා. එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් මාසය දක්වාම පවතිනු ඇති.”

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දිවයින පුරා වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි වුවද, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ලබන වසරේ පළමු කාර්තුව තුළ යළිත් වර්ෂාපතනය අඩුවීමේ සම්භාවිතාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button