
සජිත් ප්‍රේමදාස මහතාගෙන් රජයට දැඩි චෝදනාවක්
වර්තමාන රජය පවසන ආකාරයේ පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය කළ හැක්කේ ගොවීන්, ධීවරයන්, ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් ශක්තිමත් කරමින් අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්රය දියුණු කිරීමෙන් මිස අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමෙන් ජනතාව දෛනිකව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලැබේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා, ජනතාව අපේක්ෂා කළ පොහොසත් රට සහ ලස්සන ජීවිතය මේ වන විට නිර්මාණය වී තිබේදැයි විමසීය.
කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව ජීවිකාව ගෙන යන ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.
රටේ සහ ජනතාවගේ සැබෑ ගැටලු අමතක කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කර ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට රජය උත්සාහ කරන බවද ඔහු චෝදනා කළේය.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් එල්ල කරන අතර, එමගින් ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍යය දුර්වල වී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අකර්මන්‍ය වීමේ අවදානමක් පවතින බවද විපක්ෂ නායකවරයා පැවසීය.
එවැනි තත්ත්වයක් තුළ එක් පක්ෂයක් විසින් රට පාලනය කරන ඒකාධිපති පාලන යුගයක් බිහිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, ජනතාව මත පනවා ඇති බදු අඩු කරන බවටත්, විදුලි බිල සියයට 33කින් අඩු කරන බවටත්, වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබාදෙන බවටත් රජය පොරොන්දු වූ නමුත් එම පොරොන්දු ඉටු වී නොමැති බවටද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
ගොවීන්ගේ, ධීවරයන්ගේ සහ පාසල් දරුවන්ගේ අවශ්‍යතා සඳහා භාවිත කරන උපකරණවලට පවා වැට් බදු පනවා ඇති බවත්, බදු පිට බදු පැනවීම හේතුවෙන් ජනතාව දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බවත් ඔහු පැවසීය.
රජයේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ආර්ථිකය කුඩා වී ජනතාව සතුව මුදල් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවත්, ජනතාවට ජීවත් වීමට අපහසු තත්ත්වයක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රැකියා ගැටලුවටද විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බව පැවසූ ඔහු, නව කර්මාන්තශාලා බිහි කිරීම වෙනුවට පවතින කර්මාන්තශාලා පවා රට හැර යන තත්ත්වයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් තරුණ පරපුර මුහුණ දෙන ගැටලුවලටද රජයට විසඳුම් නොමැති බවත්, දුප්පත්කම සියයට 30ත් 40ත් අතර මට්ටමකට පැමිණ ඇති බවත් ඔහු පැවසීය.
ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට නොහැකි වුවද, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම රටේ සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ලෙස රජය කටයුතු කරන බවටද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ මැයි මාසයට අදාළ දත්ත අනුව පුද්ගලයෙකුට ජීවත් වීමට රුපියල් 17,000ක් ප්‍රමාණවත් බව සඳහන් වන නමුත්, එම මුදලින් දින 30ක් ජීවත් විය හැකිද යන්න පිළිබඳව ප්‍රශ්න කළ යුතු බවද ඔහු පැවසීය.
රජය සුරංගනා ලෝකයක ජීවත් වන බවත්, රටේ සැබෑ තත්ත්වය පිළිබඳ තොරතුරු හරහා ජනතාව සවිබල ගැන්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



