ප්‍රධාන පුවත්

තරුණයන් ගොදුරු කරන අලුත් ඔන්ලයින් කප්පම් ජාවාරමක්

Facebook, Messenger, Instagram සහ WhatsApp වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන සංවිධානාත්මක ඔන්ලයින් කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.

මෙම ජාවාරම ඉන්දියාවේ සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇති බව SLCERT සඳහන් කරයි.

ජාවාරම්කරුවන් තම ඉලක්ක හඳුනාගැනීමට පෙර ඔවුන්ගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් සහ හිතවතුන් පවා මිතුරු ලැයිස්තුවට එක්කර ගැනීමට කටයුතු කරන බව අනාවරණය වී තිබේ.

මෙම ඔන්ලයින් කප්පම් ජාවාරමේදී මුලින්ම Instagram හරහා සුරූපී තරුණියකගේ ඡායාරූපයක් සහිත ගිණුමකින් ඉලක්ක කරගත් පුද්ගලයා වෙත ‘Hi’ යනුවෙන් කෙටි පණිවුඩයක් යොමු කරනු ලබයි.

එම පණිවුඩයට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවන ජාවාරම්කරුවන්, දින කිහිපයකට පසු යළිත් එම පුද්ගලයා සමඟ සංවාදයක් ආරම්භ කරන බව SLCERT පවසයි.

අනතුරුව එම තරුණියගේ ඡායාරූපයේ පෙනුමට ආකර්ෂණය වන පුද්ගලයා නැවත සංවාදයට එක්වීමෙන් පසු ජාවාරමේ මීළඟ අදියර ක්‍රියාත්මක කෙරේ.

එහිදී තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් යොමු කරමින් අනෙක් පාර්ශ්වයේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට හෝ WhatsApp හරහා වීඩියෝ ඇමතුමක් ලබාගෙන එහි දර්ශන ලබාගැනීමට ඔවුන් පොළඹවා ගන්නා බව අනාවරණය වී තිබේ.

එලෙස ලබාගන්නා නිරුවත් වීඩියෝ හෝ දර්ශන පසුව අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් වෙත යවන බවට තර්ජනය කරමින් කප්පම් මුදල් ලබාගැනීම සිදුකරන බව SLCERT සඳහන් කරයි.

මේ හේතුවෙන් නොහඳුනන ගිණුම් හෝ දුරකථන අංක ඔස්සේ ලැබෙන කෙටි පණිවුඩ, මිතුරු ඇරයුම් සහ ඇමතුම් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button