
උසස් පෙළ විභාගය අගෝස්තු 10 සිට – සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ කර සැප්තැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත බව විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය පැවසුවාය.
මෙවර විභාගයට පාසල් අයදුම්කරුවන් 264,496 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 දෙනෙකු ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත යොමුකර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත තැපැල් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
විභාග මධ්‍යස්ථානය වෙත පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ සඳහන් තම අත්සන නිසි පරිදි සහතික කරවාගෙන තිබීම අනිවාර්ය බවද ඇය අවධාරණය කළාය.
යම් අයෙකුගේ විභාග ප්‍රවේශ පත්‍රය අස්ථානගත වී ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා එය නැවත භාගත කර ගැනීමට හැකියාව පවතින බවද දැනුම් දී තිබේ.
විභාගය සඳහා අනන්‍යතාව තහවුරු කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රය පමණක් භාවිත කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.
ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇති අයදුම්කරුවන් සඳහා තාවකාලික අනන්‍යතා තහවුරු කිරීමේ ක්‍රමයක් ලෙස තැපැල් හැඳුනුම්පත සඳහා භාවිත කරන ඡායාරූප දෙකක් සහතික කරවා ගැනීමට කටයුතු කළ යුතුය.
ඒ අනුව පාසල් අයදුම්කරුවන් එම ඡායාරූප විදුහල්පතිවරයා ලවාද, පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාම නිලධාරීවරයා ලවාද සහතික කරවාගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
එමෙන්ම විභාග කාලසටහන පිළිබඳව දැඩි අවධානය යොමුකර, විභාගය ආරම්භ වීමට පැයකට පෙර අදාළ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට උපදෙස් ලබාදී තිබේ.
ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන්, බ්ලූටූත් උපකරණ ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් බවද දැනුම් දී ඇත.
විභාග නීති රීති නිසි ලෙස අනුගමනය කරමින් විභාග වංචාවලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරිය සිසුන්ගෙන් ඉල්ලා සිටියාය.
පසුගිය වසරවලදී විභාග වංචාවලට සම්බන්ධ වූ සිසුන් රැසකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට සිදුවූ බවද ඇය සිහිපත් කළාය.
මේ අතර, කිසියම් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමටද විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.



