ප්‍රධාන පුවත්

නායයෑම් අවදානම යළි ඉහළට – දිට්වා සුළි කුණාටුවෙන් බලපෑ ප්‍රදේශ ගැන NBRO අනතුරු ඇඟවීමක්

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල නායයෑම් අවදානම යළි ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ මේ වනවිට පස ජලයෙන් සංතෘප්තව ඇති බැවින් සුළු වර්ෂාවක් පමණක් ලැබුණද නායයෑම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ ගල් පෙරළීම් වැනි අනතුරුදායක තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.

කාලගුණ පුරෝකථන අනුව හෙට (07) සහ අනිද්දා (08) දිනයන්හි වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් කඳුබෑවුම් ආශ්‍රිත ප්‍රදේශවල සහ අවදානම් ස්ථානවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

මාර්ග භාවිත කරන රියදුරන් සහ මගීන් පස්කණ්ඩි කඩාවැටීම් හා ගල් පෙරළීම් සිදුවිය හැකි ස්ථාන පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර, ඇළ මාර්ග ආශ්‍රිතව ජීවත් වන ජනතාවද ජල උල්පත් මතුවීම, පස් ඉරිතැලීම, ලයිට් කණු හෝ ගස් ඇලවීම වැනි ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථානයකට ඉවත් වන ලෙස උපදෙස් ලබාදී තිබේ.

පසුගිය අයහපත් කාලගුණ තත්ත්වය අතරතුර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සිදුවීම් 15ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සිදුවීම් 4ක් ඇතුළුව සමස්ත සිදුවීම් 21ක් වාර්තා වී ඇති අතර, එම නායයෑම් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බවද ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

NBRO සතුව පවතින ස්වයංක්‍රීය වර්ෂාමාන 330කට ආසන්න ජාලය මෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති පැය 24 පුරා නිරීක්ෂණය කරමින් අවශ්‍ය අවස්ථාවල නායයෑම් අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජීවිත ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් බලධාරීන් නිකුත් කරන ඉවත් කිරීමේ උපදෙස් වහාම පිළිපදින ලෙසත්, අවදානම් ලක්ෂණ දක්නට ලැබෙන ඕනෑම අවස්ථාවක ප්‍රමාදයකින් තොරව ආරක්ෂිත ස්ථානයකට යොමුවන ලෙසත් NBRO ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button