උණුසුම් පුවත්

තද සුළං සහ රළු මුහුද : මාතර සිට පොතුවිල් දක්වා රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පැවතීම හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (06) පෙරවරු 10.00ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුද ඉතා රළු වනු ඇතැයි අනතුරු අඟවා තිබේ. ඒ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු එම මුහුදු කලාපයට යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට උපදෙස් ලබාදී ඇත.

මේ අතර, මඩකලපුව සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශද විටින් විට රළු වනු ඇත.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් වන ලෙසත් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button