
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විද්‍යාත්මක හා වෘත්තීය නිපුණතාවෙන් නවීකරණයට ජනපතිගේ අවධානය
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විද්‍යාත්මක දැනුම සහ වෘත්තීය නිපුණතාවෙන් සන්නද්ධ නවීන හමුදාවක් ලෙස ගොඩනැඟීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාව අද (05) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙවර අයවැය යටතේ ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 530ක මුදලක් වෙන් කර ඇති අතර, ඉන් රුපියල් බිලියන 379ක් පුනරාවර්තන වියදම් සඳහාත් රුපියල් බිලියන 151ක් ප්‍රාග්ධන වියදම් සඳහාත් වෙන් කර ඇත.
සාකච්ඡාවේදී යුද, නාවික හා ගුවන් හමුදාවන් මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනය කෙරිණි.
රජයේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාදයන් සහ අධික පිරිවැය අවම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ඉංජිනේරු බලකායන්ගේ හැකියාවන් වැඩි වශයෙන් භාවිත කිරීම සහ ඒ වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ. එම සේවාවන් විශේෂිත උපදේශන හා තාක්ෂණික සේවා ලෙස පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
යුද හමුදාවේ ප්‍රධාන ව්‍යාපෘති 17ක්, නාවික හමුදාවේ විද්‍යුත් උපකරණ සහ සෝලා පද්ධති සංවර්ධන ව්‍යාපෘති මෙන්ම ගුවන් හමුදාවේ ව්‍යාපෘති 136ක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, නවීන ඩ්‍රෝන තාක්ෂණය භාවිතය තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබේ.
එමෙන්ම ආපදා කළමනාකරණ අංශය සඳහා වෙන් කළ ප්‍රතිපාදන යටතේ නායයෑම් අවදානම් අවම කිරීම, නවීන ඩොප්ලර් රේඩාර් පද්ධති ස්ථාපනය සහ 2027 වසරේ ආපදා සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදීමටද තීරණය කර ඇත.



