
අයහපත් කාලගුණයෙන් ජල පිරිපහදු මධ්‍යස්ථාන 3කට බලපෑම්
පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ පේරාදෙණියේ පිහිටි මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය දක්වා ජලය පැමිණීම හේතුවෙන් එහි මෙහෙයුම් නතර කිරීමට සිදුවූ අතර, එමගින් පවුල් 40,000කට ආසන්න සංඛ්‍යාවක් බලපෑමට ලක් වූ බවයි. කෙසේ වෙතත් මහවැලි ගඟේ ජල මට්ටම පහළ යාමත් සමඟ එම මධ්‍යස්ථානය මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කර තිබේ.
මා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මාවනැල්ල සහ අසුපිනිඇල්ල ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකටද බලපෑම් එල්ල වූ අතර, මාවනැල්ල මධ්‍යස්ථානය යළි ක්‍රියාත්මක කර ජල සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇත. එහෙත් අසුපිනිඇල්ල ජල පිරිපහදු මධ්‍යස්ථානය තවමත් අකර්මණ්‍යව පවතින අතර, ඒ හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජල සම්බන්ධතා 40,000කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී තිබේ.
තවද මෙම ගංවතුර තත්ත්වයේ බලපෑම මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට පමණක් සීමා වී ඇති බවත්, බස්නාහිර පළාතේ ජල සැපයුමට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ගංවතුර හේතුවෙන් ගංගාවල ජලයේ මඩ සහ බොර ගතිය ඉහළ ගියද, නියමිත ප්‍රමිතියට අනුව පිරිපහදු කිරීමෙන් පසුව පමණක් ජලය බෙදාහරින බැවින් පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සැකයක් තබා නොගන්නා ලෙසද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඊයේ දිනය පුරාම සහ ඊයේ රාත්‍රියේ දී ඇතිවෙච්ච අධික වර්ෂාපතනයත් එක්ක විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය සහ නුවරඑළිය දිස්ත්‍රික්කය දෙකට සහ රත්නපුරයට ඇතිවෙච්ච අධික වර්ෂාපතනයත් එක්ක මහවැලි ගඟ, ඒ වගේම කළු ගඟ, ඒ වගේම කැළණි ගඟ, මා ඔය, මේ වගේ ගංගාවල ජල මට්ටම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා ගංවතුර තත්වයක් ඇති වුණා. මේකත් එක්ක ජල සම්පාදන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක් අපිට තාවකාලිකව අත්හිටුවන්න සිද්ධ වුණා. මේකෙන් විශේෂම අත්හිටුවීමක් සිද්ධ කරපු ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් තියෙනවා. එකක් පේරාදෙණියේ පිහිටලා තියෙන මී වතුර ජල පිරිපහදු මධ්‍යස්ථානය අපිට නවත්තන්න සිද්ධ වුණා අපේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය දක්වා වතුර පැමිණි නිසා. පවුල් හතළිස් දාහකට පමණ ඒ හේතුවෙන් බලපෑම ඇති වුණා. ඊයේ හවස අපිට නවත්තන්න සිද්ධ වුණේ. නමුත් මේ මොහොත වෙනකොට මී වතුර ජල මධ්‍යස්ථානය යථා තත්වයට පත්වෙලා තියෙනවා. මහවැලි ගඟේ ජල මට්ටම අඩුවෙමින් යනවා මේ මොහොත වෙනකොට. ඒක යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා.
ඒ වගේම මාවනැල්ල සහ අසුපිනිඇල්ල කියන ජල සම්පාදන පිරිපහදු මධ්‍යස්ථාන දෙකට බලපෑම් එල්ල වුණා. මා ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග. එතනදී මාවනැල්ල මේ මොහොත වෙනකොට යථා තත්වයට අපි පත් කරලා තියෙනවා. ජල සම්පාදනය යථා පරිදි ක්‍රියාත්මක වෙනවා. නමුත් අසුපිනි ඇල්ල අපිට තවමත් යථා තත්වයට පත්කරගන්න බැරි තත්වයෙන් තිබෙනවා. මේ මොහොත වෙනකොටත් අකර්මන්‍ය තත්වයේ තියෙන්නේ අසුපිනි ඇල්ල පමණයි. ජල සම්පාදන සම්බන්ධතා 40,000 පමණ බලපෑම් එල්ල වෙලා තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කය තුළ..
ඊට අමතරව මධ්‍යම කඳුකරයේ ඇතිවෙච්ච ජල ගැලීම් තත්වයත් එක්ක සමහර අපේ පිරිපහදු මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් ඔපරේට් කරන්නේ නැතුව අපිට අර්ධ වශයෙන් ක්‍රියා කරවන්න සිද්ධ වුණා. නමුත් ඒවත් මේ මොහොත වෙනකොට සියලුම දේවල් යථා තත්වයට පත්වෙලා තියෙනවා. බස්නාහිර පළාතට ඇත්තටම මේ ගංවතුර තත්වය නිසා බලපෑමක් නැහැ. මේක මහනුවර දිස්ත්‍රික්කයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයට පමණයි මේ බලපෑම එල්ල වුණේ. ගංවතුර තත්වයත් එක්ක ගංගාවල ජලයේ තියෙන මඩ ගතිය වැඩි වෙන්න පටන් ගත්තා. ඒ වැඩි වුණත් අපි පිරිපහදු මධ්‍යස්ථාන තුළ නියමිත පරිදි පිරිපහදු කරලා ජලය සම්පාදනය කරන්නේ. එම නිසා ගංවතුර තත්වය සමග ගංගාවල ජලය යම් බොර ගතියක් එහෙම නැත්නම් මඩ ගතියක් ආවට පිරිපහදු කරලා සම්පාදනය කරන ජලය සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. අපි පාරිභෝගික ජනතාවට ඉල්ලීමක් කරනවා ඒ ගැන මුකුත් සැකයක් තියා ගන්නේ නැතුව ජලය පාවිච්චි කරන්න කියලා..”



